ඩිලාන්ට තියුණු ආයුධ වලින් පහර දීමේ හේතුව එළිවෙයි


සමාජ ක්‍රියාකාරී දිලාන් සේනානායකට තියුණු ආයුධ වලින් පහර දීමට හේතුව තරුණියක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් බව අනාවරණය වී තිබෙනවා. අරගල භූමියට පැමිණි තරුණියකට ඩිලාන් සේනානායක විසින් උසුළු විසුළු කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එම තරුණිය සමඟ පැමිණි තරුණයෙකු එලෙස නොකරන ලෙස ඩිලාන් සේනානායකගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම අවස්ථාවේදී සමාජ ක්‍රියාකාරී ඩිලාන් සේනානායක විසින් අරගල භූමියේදී මෙම තරුණයාට පහරදීමට උත්සහ දරා ඇති බවයි

මෙම සිද්ධියට පලිගැනීමක් ලෙස දිලාන් සේනානායකට මෙලෙස තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව් දෙනාගෙන් එක් සැකකරුවෙකු විසින් දිලාන් සේනානායක සෙවීම සඳහා අවස්ථා කිහිපයකදී ඔහුගේ නිවස වෙතද ගොස් ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර අදාළ පිහිඇනුම සිදු වූ දින උදෑසන කාලයේද දිලාන් සේනානායක රැදී සිටි පාගොඩ ප්‍රදේශයේ පිහිටි ස්ථානය වෙත මෙම සැකකරුවෙකු ගොස් ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මිරිහාන පොලීසිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා. 

ඉන්පසු සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනාම අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවටද අනාවරණ වී තිබෙනවා.

Neth News