ලක් තරුණියන් ඕමානයේදී අලෙවි කළ මහ මොළකරු අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන්ට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරුඅද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 44 හැවිරිදි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් නැමැති මෙම පුද්ගලයා දෙහිවල සහ වත්තල යන ප්‍රදේශ වල බිරින්දෑවරුන් දෙදෙනෙකු සමග වාසය කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ ප්‍රකාශවරයෙකු පැවසීය. මොහු විසින් පවත්වා ගෙන යනු ලබන කොළඹ මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් සහ තවත් රටපුරා පිහිටි විදේශ රැකියා ආයතන වලින් මෙම ජාවාරම සදහා ළාබාල තරුණියන් ඕමානය වෙත ගෙන්වා ගෙන තිබේ.