දවස් 20ක බිළිඳෙකු කොරෝනා වලදී මිය යයි – දෙමාපියන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී දින විස්සක් වයසැති බිළිඳෙකු කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වීමෙන් පසුව එම දරුවාගේ දෙමාපියන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

ඒ, එම බිළිඳු මෘත ශරීරය අත්තනෝමතික ලෙස ආදාහනය කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින්.

අදාළ පෙත්සම සලකා බලන පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙහි එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද (29) ඉන් ඉවත් ව තිබෙනවා.

එම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙනිය, ගාමිණි අමරසේකර යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම මැයි මස 25 වන දා තෙක් කල් තැබුණා.

එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මියගිය දරුවාගේ දෙමාපියන් විසින්.