කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයින් 180 හමුවෙයි

මඩකලපුව පොලිස් ස්ථානයේ සහකාර පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

මඩකලපුව පොලිස් මූලස්ථානයේ සේවය කරන අනෙක් පොලිස් නිලධාරීන් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මේ අතර, හැටන් පොලිස් ස්ථානයේ නිලධාරියෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු පසුගියදා කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ ඥාතියෙකුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ගොස් ඇති අතර ප්‍රකාශය ලබාගැනීමෙන් පසු දින ලැබුණු පී.සී.ආර්.වාර්තාවෙන් එම පුද්ගලයාත් වෛරසය ආසාදිතව සිට ඇතැයි තහවුරු විය.

ඒ අනුව ස්වයං නිරෝධායනයට යොමුවූ අදාළ පොලිස් නිලධාරියාගේ පී.සී.ආර්.පරීක්ෂණයෙන් ඔහු ආසාදිත බව හඳුනාගැනුණි.

මේ අතර ඊයේ දිනයේත් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 180 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 දෙනෙකු හඳුනාගෙන ඇති අතර රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 39 දෙනා බැගින් වාර්තා වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 27 දෙනෙකු සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.