ලොවටම කොවිඩ් එන්නත් බෙදන කොවැක්ස් ක්‍රියාන්විතයට ධනවත් රටවලින් විශාල මූල්‍ය පරිත්‍යාගයක්

ලොව කොවිඩ් -19 වසංගතය පාලනයට දියයුතු සහාය වේගවත් කිරීමට ජී – 7 රාජ්‍ය නායකයින් එකඟ වී තිබේ.

අමෙරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ජපානය, කැනඩාව සහ ඉතාලිය එම සංවිධානයේ සාමාජික රටවල් වේ.

එම රටවල නායකයින් අද දින අන්තර් ජාලය ඔස්සේ එක්වෙමින් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය ගැන අදහස් හුවමාරු කරගෙන තිබේ.
   
ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීමටත් ඊට අවශ්‍ය සහාය ලබාදීමටත් ඔවුන් එකඟ වී ඇති බව වාර්තා වේ.
   
WHO කොවැක්ස් ක්‍රියාන්විතයට සහාය දීමට ඔවුන් එකඟ වී ඇති අතර එමගින් ලොව සෑම දෙනාටම කොවිඩ් එන්නත ලබාදීමට දායක වීම ඔවුන්ගේ අභිප්‍රාය වේ.
 
ඒ අනුව ඒ සඳහා ඩොලර් බිලියන 7.5ක් දක්වා අරමුදල් සැපයීමට ජී -7 කණ්ඩායම එකඟ විය.