ගෝල් ග්ලැඩියේටර්ස් සමග අවසන් තරගයට ක්‍රීඩා කරන්නේ ජැෆ්නා ස්ටැලියන්ස්ද? දඹුල්ල වයිකිංග්ද?

ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංග් කණ්ඩායම් අතර අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් කලම්බු කිංගස් පරදා කඩුලු දෙකක තියුණු ජයක් ලබා ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කලම්බු කිංගස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 150ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය ලබන 16වැනිදා පැවැත්වීමට නියමිතය.

චතුරංග රාජපක්ෂ