විදෙස්ගතව සිටි පිරිසක් ලංකාවට

විදෙස්ගත ව සිටි පිරිසක් අද (30) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

එම පිරිසෙන් පුද්ගලයින් 40 දෙනෙක් අබුඩාබි සිට, පුද්ගලයින් දෙදෙනෙක් දෝහා සිට හා තවත් පුද්ගලයින් 77ක් චෙන්නායි සිට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එසේ පැමිණි පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය කිරීමට කටයුතු සුදානම් කර ඇත.

මේ අතර යුද්ධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 174ක් තම නිරෝධායනය අවසන් කර අද දිනයේ පිට ව යෑමට නියමිතය.

අද වන විට පුද්ගලයින් 28,323ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37ක පුද්ගලයින් 2,298ක් නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 770ක් සිදුකර ඇති අතර, මේ වන විට ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන 155,540කි.

අද උදෑසන 6 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 2810ක් වාර්තා වන අතර, සුවය ලැබු සමස්තය 2317කි.

පුද්ගලයින් 482ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.