හැඳුනුම්පත් සේවාව යළි ඇරඹේ

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ලබන 22 වැනිදා සිට යළි ආරම්භ වේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෛනිකව සීමිත පිරිසකට ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි.
ඒ අනුව බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් දෛනිකව සේවාලාභීන් 250 දෙනෙකුට ජාතික හැඳුනුම්පත් නිකුත් කරන අතර ගාල්ලේ පිහිටි දකුණු පළාත් කාර්යාලයෙන් දෛනිකව නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත් ප්‍රමාණය 50ක් වේ. ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් ග්‍රාම නිලධාරී සහතික කළ අයැදුම් පත්‍රය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතුයි. එහිදී කාර්යාල වැඩ කරන දින 10 ක් ඇතුළත තමුන්ට පැමිණිය හැකි පහසු දිනයක් සහ වේලාවක් වෙන්කළ අංකයක් ලබාගත යුතු අතර නියමිත දිනයේදී ප්‍රධාන කාර්යාලයට පැමිණ ජාතික හැඳුනුම්පත් ලබාගත යුතු වේ.