අන්තර්ජාලය හරහා ක්‍රෙඩ්ට් කාඩ් මගින් භාණ්ඩ ඇනවුම් කිරීමේදී ප්‍රවේශමෙන්

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වංචා මේ දිනවල නිරන්තරයෙන්ම වාර්තා වනවා. එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මීට පෙරද අප ඔබව දැනුවත් කළා. ඒ අනුව එවැනිම වූ අන්තර්ජාලය හරහා සිදු කරමින් පවතින තවත් වංචාවක් පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවනවා.

ඒ අනුව එම සංසදය පවසන්නේ අන්තර්ජාලය හරහා නිවසට භාණ්ඩ බෙදා දෙන බව පවසමින් , ක්‍රෙඩිට් කාඩ් පත්වල දත්ත සොරා ගැනීමේ ජාවාරමක තොරතුරු මේවන විට අනාවරණය වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේ එවැනි ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවත්, එවැනි අන්‍යතාව තහවුරු කළ නොහැකි වෙබ් අඩවිවලින් භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙසත්ය.

එසේම අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගත හැකි බව පවසමින් ජනතාවගෙන් මුදල් ලබාගැනීමට උත්සහා කළ ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් අඩපණ කළ බව ද ඔහු ප්‍රකාශ කළා.