පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ, අවතැන් වූ, ජීවිත හා දේපළ හානි වූ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන්, ඔවුන්ගේ ජීවනෝපායන් යළි ගොඩනැංවීම පිණිස ලංකා මුස්ලිම් ලීගය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුන් රුපියල් කෝටි අනූවක මුදලකට සිදු වූ දේ කුමක්ද යන්නඑවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ඇතුළු වගකිවයුත්තන් වහා පැවසිය යුතු යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පෙරේදා (19දා) මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ,
“පාස්කු ප්‍රහාරයට 21 වැනිදාට අවුරුද්දයි. පාස්කු ප්‍රහාරයෙන් 265ක් මියගියා. 500ක් තුවාල වුණා. දේපළ විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ජීවනෝපායන් අහිමි වූ විශාල පිරිසක් ඉන්නවා.
ආබාධිතව ගෙවල්වල ඉන්න තව විශාල පිරිසක් ඉන්නවා.‘පාස්කු ප්‍රහාරයෙන් තුන් මාසයකට පස්සේ එනම් 2019 ජූලි මාසේ 30 වැනිදා කොළඹ නෙළුම් පොකුණේදී එවකට බටහිර ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ප්‍රධාන පිරිසක් සම්මන්ත්‍රණයක් සංවිධානය කළා.
ජාතීන් අතර සාමය, සමගිය, සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ලෝකයේ රටවල් රැසක මුස්ලිම් නායකයන්ගෙන් සමන්විතව මේ සම්මේලනය පැවැත්වුණේ.ලංකා මුස්ලිම් ලීගයේ නායක මොහොමඩ් බින් අබ්දුල්ලා මහතා ඒ සම්මේලනයේදී පාස්කු ප්‍රහාරයෙන් හානියට, විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි ගෙවන්නත් ඔවුන්ගේ ජීවිත නැවත නගාසිටුවීම සඳහා ඔවුන් අතර බෙදා දෙන්න ඩොලර් මිලියන පහක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි අනූවක් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්රදානය කළා.
‘පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් පිරෙන අද වනවිටත් මේ විපතින් පීඩා විඳින පිරිස් දුක සේ සිය ජීවිත ගෙනියනවා. ලංකා මුස්ලිම් ලීගය දුන් කෝටි අනූව මේ අය අතර බෙදා දුන්නාද කියලා අපි වගකිවයුතු අයගෙන් විමසලා බැලුවා.
දැනගන්නට ලැබුණේ ඒවා බෙදාදී නැති බවයි. එහෙනම් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලංකා මුස්ලිම් ලීගය දුන් කෝටි අනූවට මොකද වුණේ.
සම්මේලනය සංවිධානය කළ එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ඇතුළු වගකිවයුත්තන් වහාම මේ ගැන රටට, ජනතාවට හෙළි කළ යුතුයි” යනුවෙන් පවසා සිටියේය.

