හොරෙන් අරක්කු පේරු ගෙදරට පොලිස්සිය යද්දී ගෙදර කාන්තාවට මාපිලේක් දෂ්ඨ කරලා

කතරගම කොහොඹ ගහ දිගාන ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධි මත්පැන් අලෙවි වන බවට ලද තොරතුරක් මත එම නිවස වැටලීමට ගිය පොලිස් නිළධාරීන් විසින් සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් අසාධ්‍යව සිටි කාන්තාවක් රෝහල් ගතකිරීමට කටයුතු කර තිබෙනවා.

රට තුල ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන මොහොතේදී අදාල නිවසේ නීතිවිරෝධි මත්පැන් අලෙවි වන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් එම නිවස වැටලීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිළධාරීන් විසින් මෙම ක්‍රියාව සිදුකර තිබෙනවා.

එම පොලිස් කණ්ඩායම අදාළ නිවස වටලා පරීක්ෂා කළ අවස්ථාවේදී එම නිවසේ මත්පැන් විශාල ප්‍රමාණයක් සොයාගැනීමට නොහැකි වී ඇති අතර, කෙසේ වෙතත් අපහසුවෙන් කෙදිරිගාමින් සිටි එම නිවසේ කාන්තාවක සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇයට සර්පයෙකු දෂ්ඨ කර ඇති බව අනාවරණය වී තිබුණා.

එහිදී තවදුරටත් කළ ප්‍රශ්න කිරීම් වලදී ඇයගේ සැමියා ප්‍රකාශ කර තිබුණේ පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මකව පවතින හේතුවෙන්, සිය බිරිදව හෙට දිනයේදී රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළ බවත්, අත්බෙහෙත් කළ බවත්ය.

කෙසේ වෙතත් ඒ වන විට මරා දමා තිබූ දෂ්ඨ කළ සර්පයා නිරීක්ෂණය කළ පොලිස් නිලධාරීන් විසින් එම සර්පයා නාග මාපිලෙකු බව අනාවරණය කරගැනීමත් සමඟ ගිලන් රථයක් ගෙන්වා අසාධ්‍ය තත්ත්වයේ සිටි එම කාන්තාව රෝහල් ගතකර තිබුණා.

අනතුරුව සැකකරුට පොලිස් නිලධාරීන් දැඩි ලෙස අවවාද කර නිවසේ තිබු නීතිවිරෝධි මත්පැන් භාගය විනාශ කර බවටයි තොරතුරු වාර්තා වුනේ.