රජයේ බදු සහන වාසිය ජනතාවට ලබාදෙමින් දැනට වෙළෙඳපොළේ විවිධ භාණ්ඩ වර්ග 15,000කට අධික ප්‍රමාණයක මිල අඩු කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන 80කට වැඩි ප්‍රමාණයකින් සිදුකර තිබෙන මේ භාණ්ඩ මිල අඩු කිරීම පිළිබඳ එම සමාගම් සහ ආයතන ලිඛිතව අධිකාරියට දැනුම් දී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම්. එස්. එම්. ෆවුසර් මහතා පවසයි.
ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ, රස කැවිලි වර්ග, සිසිල් බීම වර්ග, ජෑම්, කෝඩියල්, බිස්කට්, චොක්ලට්, සබන්, ෆවුඩර්, ෂැම්පු, ළදරු නිෂ්පාදන, රූපලාවණ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක මිල රජය ලබා දුන් බදු සහනයට අනුව මිල අඩුකර තිබෙන බවත් කිරිපිටි හා සිමෙන්ති මිල කලින්ම අඩු කළ බවත් අධ්යක්ෂ ජනරාල් ෆවුසර් මහතා කියා සිටියේය.
මිල අඩු කර තිබෙන භාණ්ඩ වර්ග හා අඩු කළ මිල ගණන් පුවත්පත් දන්වීම් මගින් හා සිල්ලර වෙළෙඳ සල්වල ප්‍රදර්ශනය කිරීම මගින් ජනතාවට දැන ගැනීමට සලස්වන ලෙසට අදාළ සමාගම් වෙත හා ආයතනවලට දැනුම්දී ඇති බව කියා සිටි ෆවුසර් මහතා සියයට 6ත් 8ත් අතර ප්‍රමාණයකින් භාණ්ඩ මිල අඩු කර ඇති බවද කියා සිටී.
ඉකුත් දෙසැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය වැට් බද්ද සියයට 15 සිට 8 දක්වා අඩු කිරීම හා සියයට 2ක්ව පැවති ජාතිය ගොඩනැඟීමේ බද්ද අහෝසි කිරීමේ වාසිය භාණ්ඩ මිල අඩු කිරීම තුළින් ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා අධිකාරියේ විමර්ශන නිලධාරීන් වෙළෙඳපොළ නිරීක්ෂණයක යොදවා ඇති බවද කියා සිටි ඒ මහතා පාරිභෝගික නීති උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කියා සිටියේය.
සුභාෂිණී සේනානායක

