මොන්ටිසෝරි දැරියව අපයෝජනය කල සීයා මාට්ටු

සැමියා විසින් ලිංගික කටයුතු සඳහා මුදලට විකිණූ­ බව කියන කාන්තාවක කුඩා අවධියේදී ඇය තම සීයා අතින්ද බරපතළ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව එම කාන්තාව පොලිසියට කළ ප්‍රකාශයක් මත ඇගේ සීයා බව කියන හැත්තෑහත් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් මොනරාගල පොලිසිය පවසයි. වින්දිත කාන්තාව ඉකුත් 13 දින මොනරාගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා තිබුණේ වසර තුනක් පෙම් කර විවාහ වූ තම සැමියා එකඟ නොවුවහොත් වෙඩි තබා මරන බවට තර්ජනය කරමින් තමන්ව ඔහුගේ මිතුරන්ට හා විවිධ පුද්ගලයන්ට මුදලට විකුණන බවයි.දහනව හැවිරිදි මෙම කාන්තාව කළ පැමිණිල්ලට අනුව සැකකරු හා ඔහු සතුව තිබූ ගිනිඅවියක් පොලිසිය විසින් ඉකුත් 14 වැනිදා අත්අඩංගුවට ගත් අතර වින්දිත කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර තිබෙනවා. එහිදී මෙම කාන්තාව රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හා රෝහල් පොලිසියේ නිලධාරිනියට පවසා ඇත්තේ තමන් පෙර පාසල් යන අවධියේ පටන් තම සීයාගෙන්ද ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දුන් බවයි.
මේ හේතුවෙන් තමන් කුඩා අවධියේදී ඇතැම් දිනවල සීයාගෙන් බේරිමට කැලේට ගොස් සැඟව සිටි බවද ඇය පොලිසියට පවසා තිබෙනවා.සැකකාර සීයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවයි.පොලිසිය පවසන්නේ මෙම කාන්තාව කුඩා අවධියේම ඇගේ මවුපියන් ඇය දමා ගොස් ඇති බවයි. ඒ අනුව ඇය කුඩා අවධියේ සිටම රැක බලාගෙන ඇත්තේ මෙම සැකකාර සීයා හා ඔහුගේ බිරිය බව පොලිසිය කියයි. අනතුරුව මීට මාස 4කට පමණ ඉහත දී මෙම කාන්තාව වසර තුනක් තිස්සේ පෙම් කළ විසිඅට හැවිරිදි පුද්ගලයකු සමඟ විවාහ වී ඇති බවත් ඔහුද මෙම කාන්තාව ලිංගික කටයුතු සඳහා ඔහුගේ මිතුරන්ට හා විවිධ පුද්ගලයන්ට මුදලට විකුණා ඇති බවත් මේ පිළිබඳව විමර්ශන කටයුතු කරන මොනරාගල පොලිසිය සදහන් කරයි.

වින්දිත කාන්තාව විවාහ වී සිටි පුද්ගලයා මොනරාගල රක්ෂණ ආයතනයක අලෙවි නියෝජිතවරයකු ලෙස කටයුතු කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.මෙම කාන්තාව විවාහ වී සිටි පුද්ගලයා ඇයට රුපියල් දහස, දෙදහස අටදාහ, පහළොස්දහ, විසිදාහ ආදී මිලගණන්වලට බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, මිද්දෙණිය, ගාල්ල, වීරකැටිය, මොනරාගල , මහරගම, උඩවලව ආදී ප්‍රදේශවල පුද්ගලයන්ට විකුණා තිබෙන බවද එසේ කර ඇත්තේ නැතිනම් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කරමින් බවද පොලිසිය කියයි. මීට පෙර එම සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.