ආණ්ඩුව කොරෝනා පාලනයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර තිබෙනවා
– රාජ්‍ය ඇමැති කංචන විජේසේකර
මහ බැංකුවටත්, රටටත් ලාභාංශය ලැබුණු කාලසීමා මහින්ද රාජපක්ෂ මහතා රට පාලනය කළ 2005-2015 කාලසීමාව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
මේ පිළිබඳ ඕනෑම විවාදයකට හෝ අධිකරණ කටයුත්තකට රජය සූදානම් බවද එම පෙරමුණ පවසයි.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් හෝ 2015-2017 බැදුම්කර වංචනිකයන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවද එම පෙරමුණ අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කැරිණි.
එහිදී අදහස් දැක්වූ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා,
කොරෝනා වෛරසය ආසාදනය වූ එක් අයකු පසුගියදා ශ්‍රී ලංකාවෙන් වාර්තාවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ජනතාව අතර අනිසි බියක් ඇතිකර පසුගිය දිනවල කතාබහට ලක්වූ ප්‍රමුඛතම දේශපාලන කාරණා යටපත් කිරීමට උත්සාහ දරමින් සිටින බව පෙනී යනවා. අපි ඉතා වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි මේ රෝගය හඳුනා ගැනීම සහ රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට රජය කටයුතු කර තිබෙනවා. ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 11ක් සූදානම් කර තිබෙනවා. රජය 28 වැනිදා තීරණයක් ගත්තා චීනයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුවන්තොටුපළෙන් වීසා බලපත්‍ර ලබා දීමේ කටයුත්ත තාවකාලිකව නතර කරන්න. එසේ පැමිණෙන චීන ජාතිකයන්ට ඒ අයදුම්පත්‍රය ලබා දිය යුත්තේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟිනුයි. ඔවුන් පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කිරීමෙන් පසුව තමයි වීසා ලබා දෙන්නේ ද නැතිද යන්න සම්බන්ධයෙන් තීරණය කරන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ වනවිටත් ඒ ආරක්ෂක පියවරයන් ගෙන තිබෙනවා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රෝගයෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු බවට පෙන්වා දී ඇති මූලික සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න කියලා.
ඒ වගේම අපි මේ අවස්ථාවේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ඇතිව තිබෙන අනිසි බිය උපයෝගී කරගෙන යම් යම් වරප්‍රසාද ලාභ ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරනවා නම් ඔවුන්ට විරුද්ධවත් යම් යම් පියවර ගන්න සිදුවෙයි. සෞඛ්‍ය ඇමැතිනිය කියා තිබුණා මුඛ ආවරණ පිළිබඳ එවැනි කටයුත්තකට යනවා නම් යම් පාලන මිලක් හෝ යොදන්න කටයුතු කරන්න සිදුවේවි කියලා. අපි හිතන්නේ නෑ ඒ තැනට කටයුතු කරන්න සිදුවෙයි කියලා. රට ව්‍යසනයකට මුහුණ දුන් ඕනෑම අවස්ථාවක මේ රටේ ජනතාව එකට එකතුවී කටයුතු කළ පූර්වාදර්ශ ඕනෑ තරම් තිබෙනවා. උදවු උපකාර කළ අය ඉන්නවා. එවැනි කීපදෙනෙක් හෝ සිටිනවා නම් අපි ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ලාභ ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන්න එපා කියලා.
කොරෝනා වෛරසය ලෝකයේ රටවල් කිහිපයක පමණයි මුලින් අසන්න ලැබුණේ. ඒ නිසා ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා අනතුරු ඇඟවීමක් පවා කර තිබුණේ නෑ. තවමත් ඒ ගැන උපදෙස් ලැබී නෑ. ශ්‍රී ලංකාව රජයක් ලෙස ගත හැකි සියලු පියවර ගෙන තිබෙනවා. ඉදිරියේ දී මෙය තවදුරටත් වර්ධනය වන තත්ත්වයක් තිබෙනවා නම් ඒ සඳහාත් අවශ්‍ය පියවර ගන්න රජය කටයුතු කරනවා. ඒ පහසුකම් ලබා දීම සඳහා රජය ප්‍රමුඛතාව දී කටයුතු කරනවා.
සමාජ මාධ්‍ය හරහා විවිධ ඉල්ලීම් කරනවා චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා. මේ වනවිටත් චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් බොහෝ පිරිසක් ආපසු ගෙන්වා ගෙන තිබෙනවා. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිතුමා ප්‍රකාශ කළා වූහාන් නුවර සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට දිගින් දිගට ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරගෙන යනවා, නමුත් මේ වනවිට බොහෝ රටවල්වලට ඒ අවස්ථා අහිමිවී තිබෙනවා ඒ කලාපය මේ වනවිට සම්පූර්ණයේ වැසීගිය කලාපයක් බවට පත්ව තිබෙනවා. කිසිම ගුවන් යානයක්, රථයක් ඒ ප්රාන්ථයට ඇතුළුවීම මේ රෝගය පැතිර යාම වැළැක්වීමේ පියවරක් විදිහට චීන රජය ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් මේ සිසුන් පිළිබඳ තානාපති අංශ ඇතුළු සියලුදෙනා අවධානයෙන් සිටිනවා. තවත් පිරිස් සිටිනවා නම් තානාපති කාර්යාලය වෙත දැනුම්දී ඔවුන් ගෙන්වා ගැනීමේ කටයුත්ත රජයේ මැදිහත්වීම මත කිරීමට රජය කටයුතු කරනවා.
චීනයේ සිටින සිසුන් නොමිලේ ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස සමාජ මාධ්‍යවල දක්වා තිබෙනවා. එවැනි අපහසුකම් තිබෙන අය සිටිනවා නම් දන්වන්න, සංවේදී රජයක් ලෙස ඒ සඳහා කටයුතු කරන්න රජය සූදානම්. චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීම සඳහා ලබාදෙන ගුවන් ටිකට් පත් ගාස්තුව 50%කින් අඩුකර තිබෙනවා.
පසුගිය දින කීපයේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා වෝහාරික විගණන වාර්තාව පිළිබඳ කරුණු අනාවරණය කරන්න උත්සාහ දරනවා ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවලදී. මම දන්නේ නෑ වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම බැඳුම්කර වංචාව සිදුවී 2015 සිට එම සිද්ධිය යට ගහන්න ආණ්ඩුවේ පිරිස් කටයුතු කරන වෙලාවේ ඉතාමත් ම මන්දගාමීව පිළිවෙතක් අනුගමනය කර අද දවසේ වෝහාරික වාර්තාවක් උපයෝගී කර ගෙන 2005-2015 කාලසීමාව ඇතුළත මෙවැනි වංචාවක් සිද්ධ වුණා කියලා ඇඟිල්ල දිගු කරන්න උත්සාහ කරනවා. අපි පැහැදිලිව කියන්න ඕනෑ වෝහාරික විගණන වාර්තාව පසුගිය ආණ්ඩුව උපයෝගී කර ගත්තේ ඒ සඳහා විගණනයක් කළ යුතුයි කියන මතයේ සිටගෙන ලක්ෂ 3000කට වැඩි මුදලක් වියදම් කර කටයුතු කළේ තවත් එක් උපායමාර්ගයක් යොදාගන්න බැඳුම්කර වංචාවේ සිටි දේශපාලකයන්, සංවිධානාත්මකව කටයුතු කළ නිලධාරීන්ට ආවරණයක් ලබා දීමේ අරමුණින් බව අපි පැහැදිලිව කියන්න ඕනෑ.
අපිට මතකයි 2015 පෙබරවාරි 26 වෙනිදා පළමුවැනි මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවුවාට පසු මේ මහ බැංකු නිලධාරීන් ඒ ගැන ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා පළවෙනි අවස්ථාවේ කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන්ව සිට නීතීඥවරුන් පිරිසකගෙන් සැදුම්ලත් පිටිපන කමිටුව පත් කිරීමයි. ඒ කමිටුව සතියක් පරීක්ෂණ කර කිව්වා කිසිම වංචාවක් සිද්ධ වෙලා නෑ කියලා. ඉන්පසුව අපට මතකයි එවකට සිටි රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටුවේ වාර්තාව එළිදක්වන්න එපා කියලා තහනම් නියෝගයක් ගන්න අධිකරණයට ගියා. අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව ඩිව් ගුණසේකර කමිටු වාර්තාව එළිදක්වන්න එපා කියලා. පසුව එතුමා එය ඉල්ලා අස්කරගත්තා. ඉන්පසුව අපි දැක්කා එතුමා පොතක් ලිව්වා මහබැඳුම්කර වංචාවේ වංචාවක් වෙලා නැහැ කියන එක පිළිබඳ. ඉන්පසු අපි දැක්කා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පළමු කෝප් කමිටු වාර්තාව, ඩිව් ගුණසේකර කමිටු වාර්තාව නිකුත් කිරීමට පැය 24කට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළා.
2016 මාර්තු මාසයේ දෙවැනි වංචාව සිදුවෙනවා. ඒ වංචාව සිදුවූවාට පසුව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් යුත් කෝප් කමිටුවත් යම් යම් විමර්ෂණ සිදුකළා. ඒ අවස්ථාවේ ඔහු කියනවා විගණකාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ගෙන්, මන්ත්‍රිවරුන්ගෙන් එල්ලවූ පීඩනය ගැන. ඒ විගණන වාර්තාව පදනම් කර ගෙන නඩු ගොනු කරන්න හැකියාව තිබුණත් මාස කීපයක් යනතුරුවත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන්න කතානායකවරයා කටයුතු කළේ නෑ. නීතිපතිවරයාට ඉදිරිපත් කරන්න අවුරුද්දක පමණ කාලයක් ගත කළා. ඉන්පසු අපට මතකයි ඒක යටගහන්න ජනාධිපති කොමිසමක් පත් කළා. ජනාධිපති කොමිෂන් සභාවෙත් අවුරුද්දක පමණ කාලයක් පරීක්ෂණ පවත්වා ඒ සියලු කටයුතු අවසානයේ දේශපාලන නායකත්වයේ සිටි කිසිම කෙනෙක් වැරදිකරුවෙක් නොවේය කියන පණිවුඩය තමයි රටට ලබා දුන්නේ.
පසුගිය රජය විශේෂ මහාධිකරණ පැනෙව්වා ඔවුන්ගේ විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩුව දිනපතා ඇහුවා. ගාමිණී සෙනරත් සේදර වත්මන් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ නඩුව දිනපතා ඇහුවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ නඩුව දින හැටක් බන්ධනාගාරගත කරලා දිනපතා ඇහුවා. නමුත් බැඳුම්කර වංචාව පිළිබඳ දිනපතා ඒ කටයුත්ත කළෙත් නෑ. මහාධිකරණ පාව්චිචි කළෙත් නෑ. පරීක්ෂණ ආයතන පාවිච්චි කළෙත් නෑ. දේශපාලන නායකත්වය ඔවුන් නිදහස් කර එක පැත්තකින් ඔවුන්ට වටපිටාව නිර්මාණය කර දුන්නා දේශපාලනය කිරීම සඳහා. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට රටින් නික්ම යන්න වටපිටාව නිර්මාණය කර දුන්නේත් තිබුණු ආණ්ඩුවේ සිටි අග්‍රාමත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ සිටි පිරිස්. ඔවුන්ට ඒ වගකීමෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ. අපට මතකයි මහබැංකු අධිපතිවරයා ඉවත් කරන්න යද්දී ඒ කටයුත්ත පවා තාවකාලිකව නැවැත්තුවා. එපමණක් නෙවෙයි අගමැතිවරයා පාර්ලිමේන්තුවට සහතිකයක් දුන්නා ‘අර්ජුන් මහේන්ද්‍රන් මගේ මිත්‍රයෙක්, මට කියලා ගියේ කොහෙද යන්නේ කියලා, ඕනෑම වෙලාවක ගේන්න පුළුවන්’ කියලා.
බැඳුම්කර සිද්ධිය සම්බ්න්ධයෙන් අපි අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල යළි විභාග කරන ලෙස එම කොමිසමෙන් ඉල්ලීමක් කළා.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා-
මහ බැංකුව කඩා එහි වගකීම වත්මන් රජය වෙත පවරන්න එක්සත් ජාතික පක්ෂය දැන් උත්සාහ දරනවා ලොකුම වංචාව කළේ මහින්ද රාජපක්ෂ කාලයේ කියලා. එම කාලයේ කිසිදු බැඳුම්කර වංචාවක් සිදුවී නෑ. වංචාවක් සිදුවුණේ එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි 2015-2017 කාලසීමාවේදී යි.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පෝස්ටර් වියදම විතරක් රුපියල් මිලියන 400යි. වෝහාරික විගණන වාර්තාව සකස් කරන්න රුපියල් මිලියන 300ක් වැය කර තිබෙනවා. මේකෙන් කොපමණ කොමිස් ලැබුණාද කියලත් සොයා බැලිය යුතුයි. අපි බැඳුම්කරය ගැන දවසක විතරක් නෙවෙයි දවස් හතක විවාදයකට වුවත් සූදානම්.
හිටපු පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා ද අදහස් දැක්වීය
සිතාරා සේනානි
ඡායාරූපය- තුෂාර ප්‍රනාන්දු

