පොලිස් නිලධාරීන් 4කගේ වැඩ තහනම්

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් සිවු දෙනකුගේ වැඩ තහනමට ලක්කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ, වැටලීමකදී පොලිස් භාරයට ගත් කණ්ඩායමක් සන්තකයේ තිබූ රුපියල් කෝටි 02කට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් සහ විදේශීය මුදල් තොගයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් හේතුවෙනි.  

මෙලෙස වැඩ තහනමට ලක්කර ඇති පිරිස අතර උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු සිටින බව පැවසෙයි.

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි කාන්තාවන් 06 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සතුව තිබූ පවුම් 06 බැගින් වූ විශාල ප්‍රමාණයේ වළලු 04ක් සහ ග්‍රෑම් 140ක් බර මුදු 04ක් මෙන්ම ඩොලර් 3,500ක මුදලක් එලෙස අස්ථානගතවී ඇත.

ඒ බව බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් සිව්දෙනාගේ වැඩ තහනමට ලක්කර තිබේ.