බොරැල්ලේදී හෝන් ගසා විරෝධතාවක් සිදු කළ තරුණයාට උසාවියෙන් අවවාදයක්

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන ආරක්ෂක ඇමැති ගමන්කළ රථ පෙළට ඉදිරියට ගමන් කිරීම සඳහා මාර්ග තාවකාලිකව වසාදැමීම නිසා කෝපයට පත්වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ගවින් මාධව විජේරත්න නමැති 31 හැවිරිදි තරුණයාට තරයේ අවවාද කොට ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (30 දා) පස්වරුවේ නියෝග කළාය.

විදේශීය ප්‍රභුවරයකු නිල සංචාරයක් සඳහා පැමිණෙන අවස්ථාවකදී සිදුකළ එවැනි නොහික්මුනු ක්‍රියා නිසා රටට සිදුවන අපකීර්තිය සුළු කොට තැකිය නොහැකි බවත් පොලිස් නිලධාරීන් මාර්ග විනාඩි 10ක් වැනි කෙටි කාලයකට වසා දමා ඇත්තේ එකී ප්‍රභූවරයාගේ ආරක්ෂාව සැලසීම හා ගමන් පහසුව නිසා වන බැවින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුව තිබූ බවත් පෙන්වාදෙමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එහිදී සැකකරුට තරයේ අවවාද කළාය.

එම සැකකරු වසර 10කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙමින් උසස් අධ්‍යාපනය ලබන සිසුවකු බවත් එම රටේ ජනාධිපතිවරයා මහ මඟ ගමන් කරන විට හෝ එලෙස මාර්ග වසා දැමීමක් සිදුනොවන නිසා සිය සේවාදායකයා වාහනයේ සිට දිගින් දිගටම එහි නළාව ශබ්දකර ඇති බවත් තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් ඔහු අධිකරණයෙන් සමාව අයැද සිටින බවත් ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය.

ඔස්ට්‍රේලියාවේ එසේ වුවත් අප රටේ ආරක්ෂක විධිවිධාන ඇතුළු අනෙකුත් කරුණු ඊට බොහෝ සෙයින් වෙනස් බවට උගත් තරුණයකු යැයි කියන සැකකරුට වටහා ගත නොහැකි දැයි එහිදී සැකකරුගෙන් විමසූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය පොලිස් නිලධාරීන් ඉටුකරනුයේ ඔවුන් වෙත පැවරී ඇති රාජකාරිය වන බැවින් ඔවුන්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරීම ඉතා බරපතළ කරුණක් වන්නේ යැයි ද පැවසුවාය.

එම සැකකරු ඔහු ගමන්කළ වාහනයෙන් බැස එහි නළාව ශබ්දකළා සේම අනෙක් රියැදුරන් ද ඒ සඳහා පොලඹවා ඇති බව එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා අධිකරණයට පැවසීය.

ඔහු විසින් එලෙස පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන ලෙස හැසිරුණු ආකාරය වීඩියෝගත කර සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීම නිසා එය එම ප්‍රභූවරයාගේ සංචාරයට ශ්‍රී ලාංකිකයන් දක්වන විරෝධතාවක් ලෙස ලොවට පෙනීයෑමට ඉඩකඩ ඇතැයි ද ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

තමා ද එකී වීඩියෝ පටය නැරඹූ බවත් ඔහු එම අවස්ථාවේදී හැසිරුණු ආකාරය ඉතාම වැරදි සහගත බවත් එහිදී විවෘත අධිකරණය හමුවේදී පැවසූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මින් ඉදිරියට හෝ බුද්ධිමත්ව හා යහපත් ආකාරයෙන් හැසිරෙන ලෙසට තරයේ අවවාද කළාය.

තමන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් සහ ශ්‍රී ලංකා පොලිසියෙන් සමාව අයැද සිටින බවත් තමා එදින හැසිරුණු ආකාරය නිසා ශ්‍රී ලංකා රජය හෝ පොලිසිය යම් අපහසුතාවකට පත්වූයේ නම් ඒ ගැන කනගාටු වන බවත් සැකකාර එම තරුණයා අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. එම නඩුව ලබන 12 වැනිදා යළි කැඳවීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරු අධිකරණයට ඉදිරිපත්කර තිබූ අතර කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් ද අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

අප රටට පැමිණෙන රාජතාන්ත්‍රික අමුත්තෙකු ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් වෙත පැවරෙන බැවින් එවැනි අවස්ථාවලදී සිදුවන සුළු අවහිර, බාධා ඉවසා පොලිසියට සම්පූර්ණ සහාය ලබාදීම පුරවැසියන්ගේ වගකීම හා යුතුකම වන්නේ යැයි ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරුට අවවාද කරමින් කීවාය.

ඒ. ජේ. ඒ. අබේනායක
දිවයින

ඔහුගේ යාළුවෙක් මුහුණු පොතේ දාල තිබ්බ සටහන

මං මුව දන්නෙ අවුරිදු 9 ඉදන්. අපි එක ඉස්කෝලෙ, කොලඹ ප්‍රධානම සින්හල බෞද්ධ පාසලක්, එදා ඉදන් අද වෙනකම් තමන්ට හෙන ගැහුවත් අනිත් එකාට අසධාරනයක් වෙනවනම් මිනිහ ඉස්සරහට එනව.
මෙල්බර්න් වලදිත් අපි හිටියෙ එකට, එහෙත් කතාව එහෙමමයි. අපිට නැති කොන්දක් මිනිහට හැමදාම තිබ්බ. ගිලන් රථයක් සහ ගැබිනි මවක් හිරවෙලා ඉද්දි මිනිහ ඉස්සරහට අවිත් ඒ වෙනුවෙන් කතා කරනව කියන එක මටනම් හරිම සාමන්ය දෙයක්.


මම දන්න තරමට මිනිහත් පවුලෙ අයත් කැමති ගොථාබයට, චන්දෙ දුන්නෙත් ගෝටට. අනිත් මිනිහ ගැන හිතන එකෙක්, බොක්ක හොද කොල්ලෙක්, අපිට නැති කොන්දක් තියන කොල්ලෙක් මෙහෙම දෙයක් කලාම අපි කරන්න ඕනෙ ඌට පුලුවන් උදව්වක් දෙන එක. මේක චීනුන්ටවත් රාජපක්ශලටවත් ලියල දුන්න රටක් නෙවෙයි. විරෝද්ධය දැක්වීමේ අයිතිය උබලට එපා නම් නිකමුන් වගේ ඉදහන් හැබැයි අපි කැමතී විරෝධය දැක්වීමේ අයිතියට.
අපිත් මහින්ද යුද්දෙ ඉවර කරපු දවසෙ ඉදන් මහින්දට තමා, හැබැයි එහෙමයි කියල මේ හැම දේටම ඔලුව නවන්න බෑ. පට්ට කොල්ලෙක්, බොක්ක හොද කොල්ලෙක්, දන්න උන් දන්නව ඒක. දන්නෙ නැති උන් දන්න විදිහට කොමෙන්ට් කරන්න එපා, උබලට අපිට නැති කොන්දක් තියන කොල්ලෙක්, අන්තිමට මාධ්‍යට කියන සාකැස්ටික් ප්‍රකාශයම ඊට හොදම නිදසුනක්.
උබ කවුද කියන්න අපි දන්න බ්‍රෝ. මේක රජ කුමාරයට කොපුව දීල වැද්දට කඩුව දුන්න රටක්. උබට බුදු සරණයි.