බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයන්ට නිවේදනයක්

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා විශේෂ කාලගුණ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් මුහුද ආශ්‍රිතව පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් නොවැම්බර් මස 11 වන දින පමණ වන විට, ඇති වීමට ඉඩ ඇති බවයි.

මෙහි බලපෑම හේතුවෙන්, නොවැම්බර් 13 වන දින පමණ වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමට ඉඩ පවතී. තවද, නොවැම්බර් 15 වන දින පමණ වන විට නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මෙය තවදුරටත් වර්ධනය වී පීඩන අවපාතයක් බවට පත්වීමේ අඩු සම්භාවිතාවක් ද පවතී.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.