මාස 09ට ඩොලර් බිලියන 13ක අපනයන ආදායමක්

2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.61ක් ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නවතම දත්ත වාර්තා වල දැක්වෙනවා.

එය 2025 වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 5.04% ක වර්ධනයක් වනවා.

මෙම කාලසීමාව තුළ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10.76ක් දක්වා 5.35% කින් වර්ධනය වී ඇති අතර, සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.85ක් දක්වා 3.88% කින් ඉහළ ගොස් තිබෙනවා.

එසේම 2026 සැප්තැම්බර් මාසයේදී පමණක් සමස්ත අපනයන ආදායම 17.23%ක වර්ධනයක් වාර්තා කර තිබීම විශේෂත්වයක්.

විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, සැකසූ ආහාර හා පාන වර්ග, කුළුබඩු සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර රැසක වර්ධනය මෙම අපනයන ආදායම ඉහළ යාමට දායක වී තිබෙනවා.

අපනයන ක්ෂේත්‍රයේ මෙම වර්ධනය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවා සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින අවස්ථා පුළුල් කිරීමේ වැදගත් ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකියි.

අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය, නව තාක්ෂණය භාවිතය සහ නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම තුළින් මෙම වර්ධනය තවදුරටත් පවත්වාගෙන යාම ඉදිරි අභියෝගයක්.