Arnab නිසා ඉන්දියාවේ දහස් ගණන් ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙතට

‘අර්නාබ්’ (Arnab) සුළි කුනාටුව හේතුවෙන් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ප්‍රාන්ත දෙකක දහස් ගණන් ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙතට යොමු කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන පසුව ප්‍රබල සුළි කුණාටුවක් බවට පත් වූ ‘අර්නාබ්’, පැයට කිලෝමීටර් 140ක් (සැතපුම් 87ක්) පමණ වන වේගවත් සුළං සමඟ බදාදා උදෑසන වන විට ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොඩබිමට ළඟා වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථන කර තිබෙනවා.

එසේම මෙම සුළි කුණාටුව තවදුරටත් ප්‍රබල වීමට ඉඩ ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් ආන්ද්‍ර ප්‍රදේශ්හි උතුරු සහ මධ්‍යම වෙරළබඩ දිස්ත්‍රික්කවලට මෙන්ම, අසල්වැසි ඔඩිෂා ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශවලට ද අධික සිට අතිශය අධික වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුහුදේ රැඳී සිටින බෝට්ටු වහාම ගොඩබිමට පැමිණෙන ලෙස ආන්ද්‍ර ප්‍රදේශ් බලධාරීන් දැනුම් දී ඇති අතර, විදුලි සැපයුමට බාධාවක් ඇති වුවහොත් එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ද උපදෙස් ලබා දී තිබෙන බව සඳහන්.

දිස්ත්‍රික්ක පහක පාසල් සහ විද්‍යාල අඟහරුවාදා සහ බදාදා දිනවල වසා තැබෙන බවයි ඔඩිෂා ප්‍රාන්ත රජය නිවේදනය කළේ.