දිවයින ආසන්නයේ වායුගෝලීය කැළඹිලි තත්වයක් දින කිහිපයක සිට පවතින බවත් ඊයේ සිට එම තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත් වයඹ දෙසට බරව පැවති මෙම පද්ධතිය මේ වන විට බටහිර දෙසට ගමන් කෙරෙන බැවින් මිලිමීටර සියය ඉක්මවූ වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (අනාවැකි ) මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.
ඒ් මහතා මේ බව පැවසුවේ අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
මෙම අඩු පීඩන කලාපය දෙසට සුළං ප්‍රවාහයක් ද ගමන් ගන්නා බව පෙන්වා දෙන ඒ මහතා බස්නාහිර , වයඹ , සබරගමුව ,මධ්‍යම, උතුර සහ දකුණු පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඉදිරි දින දෙක තුළ සැළකිය යුතු වර්ෂාපතනයක් ඇති වන බවත් ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දෙයි.
අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බැවින් මෙම පළාත්වලට කඩින් කඩ දවස පුරා මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව පවසන ඒ මහතා මෙ වන විට බෙංගාල බොක්කේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අන්තර් නිවර්තනීය අභිසාරි කලාපයක් නිර්මාණය වී ඇති බැවින් ඉදිරියේදී වර්ෂාපතයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත හෙතෙම පෙනවා දුන්නේය.
හෙට (23) සිට අන්දමන් දූපත්වල අඩු පීඩන කලාපයක් වර්ධනය වන බැවින් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට 27 වැනි දින දක්වා වැසි අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේය.
එසේම මෙම වර්ෂා තත්වය හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කිරීමේදී දැඩි අවධානයෙන් පසු වන ලෙසත් වර්ෂාව සමග ඇති වන අකුණු අනතුරුවලින් වැළකීමට කටයුතු කරන ලෙසත් ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

