කලා ඔයත් ගංවතුර මට්ටමට ආසන්න වෙයි

කලා ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇද හැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් කලා ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතී.

ගංවතුර අනතුරු ඇගවීමේ ඇම්බර් වර්ණ නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දෙනවා.

තවද රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට තත්පරයට ඝණ අඩි 13,200 කට අධික සීඝ්‍රතාවයකින් කලා ඔයට ජලය මුදා හරිමින් පවතී. මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තව දුරටත් වැඩි කිරීමට සිදුවිය හැකිය.

මේ තත්ත්වය මතද්‍රෝණියේ පිහිටි රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම කොට්ඨාශ වලට අයත් ගංඟා නිම්නයේ පහළ ප්‍රදේශ වලට හා ඒ ආශ්‍රිත පහත් බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවනු ලැබේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශ වල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් හා මගීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. තවද මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ද ඉල්ලා සිටිනු ලැබේ.