බිනර පුර පසළොස්වක පොහොය අදයි

පිංබර බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.

ශාසනික ඉතිහාසයේ අතිශය වැදගත් හා පූජනීය සිදුවීම් රාශියක් බිනර පොහෝ දිනය මුල් කර ගෙන සිදු වී තිබෙනවා.

මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කුල කාන්තාවන් පන්සිය දෙනෙකු පැවිදිභාවය ලැබීමත් සමග භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ අද වැනි දිනක බව ශාසනික ඉතිහාසයේ සඳහන් වේ.

අෂ්ට ගරු ධර්ම පැනවීම, කාන්තාවන්ට පැවිද්ද ලබාදීම සඳහා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස කළ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ මුලින් ප්‍රතික්ෂේප කළද, පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීම මත කාන්තාවන් විසින් රැකිය යුතු අෂ්ට ගරු ධර්ම පනවා භික්ෂුණී ශාසනය පිහිටුවීමට අවසර ලබාදී ඇත්තේ අදවන් දිනයකය.

භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වනවා.

එසේම වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සලකනු ලබයි.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් බිනර පොහෝ දිනයක සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

සේරුවාවිල මහා සෑය

ගිරිහඬු සෑය