ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය, ඇයගේ සංගීත දිවිය තුළ “පෙරදා මහ රෑ”, “පහන් කන්ද”, “සත්‍යයේ ගීතය”, “පවන ගී එකතුව”, “හේමන්තයේදී”, “තාරුකා ඇස්”, “පාවෙනා”, “සින්දු හෝඩිය”, “කිඳුරියකගේ විලාපය”, “මඳු බඳුන්”, “හඳහාමි”, “සංඛ පද්ම”, “පෙම්බර ලංකා”, “ග්‍රැමෆෝන් ගී”, “අරලිය ලන්දට”, “නිලම්බරේ” සහ “පිරිත් පැන්” ඇතුළු නිර්මාණ රැසක් බිහි විය.

ආදර ගීතවලින් ඔබ්බට ගිය ඇය ආගමික ගීත, ළමා ගීත සහ සමාජීය අර්ථයක් සහිත ගීත රැසක්ද මෙරට රසික ජනතාව වෙත දායාද කළාය.

“දන්නෝ බුදුන්ගේ” වැනි ගීත හරහා ඇයගේ ගායන හැකියාවට සුවිශේෂී පිළිගැනීමක් හිමිවූ අතර, 1990 වසරේ නිර්මාණය කළ “සින්දු හෝඩිය” ගීත ඇල්බමය කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී නිර්මාණයක් විය.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.