2027 ජනවාරියේදී රාජ්‍ය සේවකයින්ට තවත් මූලික වැටුප් වැඩිවීමක්

2027 ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට තවත් මූලික වැටුප් වැඩිවීමක් ලබාදීමට නියමිත බව කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

රාජ්‍ය නිලධාරීන්ගේ මූලික වැටුප් 2025 වසරේදී මෙන්ම 2026 වසරේදීද වැඩි කර ඇති බවත්, 2027 වසරේදීද තවත් මූලික වැටුප් වැඩිවීමක් සිදු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. රට භාරගන්නා අවස්ථාවේදී ආර්ථික තත්ත්වය යහපත් මට්ටමක නොතිබූ නමුත්, රජය විසින් ආර්ථිකය ක්‍රමානුකූලව වර්ධනය කරමින් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය. එම ආදායම්වලින් සැලකිය යුතු කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා ගෙවීම සඳහා වෙන් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

යම් රාජ්‍ය නිලධාරියෙකුට වැටුප් හෝ දීමනා සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම්, ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා වැටුප් කොමිසම ස්ථාපිත කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කර නොමැති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ටද ලබාදෙන ඉන්ධන ප්‍රමාණයට අදාළ දීමනාව ගණනය කරනු ලබන්නේ පවතින ඉන්ධන මිල පදනම් කරගෙන බව ඔහු පැහැදිලි කළේය.

2026 මාර්තු 1 වැනිදා පැවති ඉන්ධන මිල පදනම් කර ගනිමින් එම දීමනා ගණනය කළ බවත්, එම ක්‍රමවේදය ජූලි 1 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ජූලි 1 වැනිදා සිට එම දීමනා ගණනය කිරීමේදී අදාළ දිනයේ වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල පදනම් කර ගන්නා බවත්, ඉන්ධන මිල අඩු වුවහොත් දීමනාව අඩු වන අතර මිල වැඩි වුවහොත් දීමනාවද ඒ අනුව ඉහළ යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.