මේ සැරේ අවුරුද්දට වෙනස් විදිහට මුං කැවුම් හදමු

සිංහල දෙමල අලුත් අවුරුද්දට තියෙන්නේ තව දවස් දෙකක් වගේ කෙටි කාලයක් නේ. ඉතින් මේ දවස් ටිකේ කට්ටියම ලහි ලහියේ කැවිලි හදනවා.

අද අපි අර ගෙන ආවේ හැමදාම හදන මුං කැවුම් එකට වඩා ටිකක් වෙනස් රෙසිපි එකක්. මේකේ විශේෂත්වය තමයි මේකට මිලක් මේඩ් එකකුත් එකතු කරනවා. ඒ නිසා මේක ඔයා වෙනද කන කැවුමට වඩා නම් ගොඩක් රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

1. මුං පිටි 250g
2. හාල් පිටි 250 g
3. මිල්ක් මේඩ් 250 ml
4. කිතුල් හකුරු හෝ සීනී 100g
5. පොල් කිරි
6. කහ ස්වල්පයක්
7. ලුණු
8. තෙල් අවශ්‍ය තරමට

හදන්නේ මෙහෙමයි:

මිල්ක් මේඩ් සහ හකුරු හෝ සීනි බඳුනකට දමා ලිප තබා උණු කරන්න. මිශ්‍ර වී පැණි පදමට එනවිට ඝන වීමට නොදී ලිප නිවා ගන්න.

ඉන්පසු මුං පිටි ටික ටික එක් කරමින් කලවම් කරන්න. මුං පිටි කලවම් කිරීමෙන් පසු හාල් පිටි එක් කරමින් අතේ නොඇලෙන පදමට මුං කැවුම් මිශ්‍රණය සකස් කරගන්න

බැද ගත් හාල් පිටි ස්වල්පයක් ලෑල්ලක් මතට ඉස කැවුම් පිටි මිශ්‍රණය හොදින් තුනී කර කෑලි කපා ගන්න.

හාල් පිටි මිශ්‍රණයේ රස අනුව ලුණුත් පාට අනුව කහත් එක් කර පොල් කිරි වලින් උකු බැටරයක් සාදා ගන්න.

මුලින්ම කපා ගත් මුං පිටි මිශ්‍ර කැබලි බැටරයේ දවටා ගැඹුරු තෙලේ බැද ගන්න.

කැවුම් බදින විට ලිප තබා ගත යුත්තේ මඳ ගින්නේ බව අමතක කරන්න එපා.