පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07)  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  තීරණය කර තිබෙනවා.

පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම හේතුවෙන් අද (08) පාර්ලිමේන්තුව රැස් නොවීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ.

ඒ අනුව ඊයේ එළැඹි තීරණයට අනුව අද (08) පෙ.ව 9.30 – පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව  10.30 – පෙ.ව 11.00 කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන්කර තිබෙන්නේ.

අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය  පැවැත්වීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා.

තවද හෙට  (09) සහ අනිද්දා ( 10) දෙදිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවේ.