තරුණ පිරිස් අතර හෘද සැත්කම් ඉහළට

තරුණ පිරිස් අතර හෘද සැත්කම් ඉහළ ගොස් ඇති බව උරස් හා උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම්, හෘද උරස් විශේෂඥ වෛද්‍ය නාලක දිසානායක මහතා පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ පිළිපිළිබඳව පවසා සිටියා.

මීට පෙර හෘද සැත්මක් සඳහා පැමිණෙන්නේ වයස අවුරුදු 60-70ත් අතර වයස්වල පසුවන වැඩිහිටි පිරිස් වුවත් වර්තමානය වන විට වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන තරුණයින් සඳහා මෙම සැත්කම් සිදුකිරීම ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසා සිටියේ.

මේ ඔහු දැක්වූ වැඩිදුර අදහස්,

”ලෝකයේ වැඩිහිටියන්ගෙන් මරණවලින් බහුතරයක් සිදුවන්නේ හෘදයාබාධවලින්. හෘදයාබාධ ඇතිවෙන්නේ කිරීටක ධමනිවල අවහිරතාවලින්. කිරීටක ධමනිවල අවහිරතාවලට විවිධාකාරයේ විසඳුම් තියෙනවා. හැබැයි සංකීර්ණ අවහිරතාවලට තියෙන මූලික විසඳුම හෘද ශල්‍යකර්මයක්. ගොඩක් කට්ටිය අහලා තියනවා එකේ නම බයිපාස් සැත්කම්. නැත්තම් කිරීටක ධමනි බද්ධ කිරීමයි. බයි පාස් සැත්කමකදී බොහෝ විට කරනු ලබන්නේ අපි හෘදවස්තුවේ අවහිර වෙලා තියෙන කිරීටක ධමනිවල අවහිරතාවය මගහරවා වෙනත් රුධිර නාලයක් බද්ධ කරන එක. ඒක ලංකාවේ සුලබ වෙන සැත්කමක් හැබැයි. දැන් බයිපාස් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ගොඩක් වර්ධනය වෙලා තියෙනවා. ඒකට හේතු වශයෙන් අපි ගොඩක් දකින්නේ රෝගය වැලදෙන කට්ටියගේ ප්‍රවණතාවය. බොහෝ තරුණ පිරිසට මෙම රෝගය වැළදෙනවා. ඉස්සර අපි දැක්කේ අවුරුදු හැට හැත්තෑව කට්ටිය තමයි එන්නෙ බයිපාස් සැත්කමකට. දැන් අවුරුදු විසිපහේ සිට තිහේ ආදී වයස් සීමාන්වල තරුණ පිරිස් පැමිණෙනවා මේ ශල්‍යකර්මය සඳහා. ඉතින් ශල්‍යකර්මයක් කරන්න අපිට ලොකු පොරොත්තු ලේඛනයක් තියෙනවා. එතකොට ඒ ශල්‍යකර්ම සිදු කිරීමට යම්කිසි කාලයක් ගන්න වෙනවා. හැබැයි අපේ ලංකාවේ තියෙන ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය‍යතා අපි ගණනය කරලා බැලුවොත් අපිට ඒ කිරීමේ හැකියාව යම්කිසි සීමිත ප්‍රමාණයක් පමණයි තියෙන්නෙ .ඉතින් අපේ ලංකාවෙ තියෙන අපිට අපිට ගැළපෙනම දේ මේ වගේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීම.”