වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී TIN අනිවාර්යයි

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳනාගැනීමේ අංකය හෙවත් “TIN” අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ජනවාරි මස 5 වනදා සිට අදාළ නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ.

මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් TIN අංකය අනිවාර්යය කර තිබු අතර මේ වසරේ සිට ලියාපදිංචි වාහනවල හිමිකාරීත්වය පැවරීමේදී ද එය අනිවාර්යය කර ඇත.

ඒ අනුව යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලු මෝටර් වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු වනවා.

අදාළ නීතිය මීට වසර දෙකකට පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද එය අවස්ථා ගණනාව‍ෙදී කල් දැමුණු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.