මධ්‍යම පළාතට නිකුත් කළ නායයෑමේ රතු නිවේදන දීර්ඝ කරයි

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 2ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, බොහෝ ප්‍රදේශවල මේ වනවිට නායයෑම් පූර්ව ලක්ෂණ මතුව ඇති බවය.

මේ හේතුවෙන් විශේෂයෙන්ම තීව්‍ර බෑවුම්, මිටියාවත්, නිම්න, නිර්මාණය කරන ලද කණ්ඩි හෝ අනතුරුදායක ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග ආශ්‍රිතව ජීවත්වන ජනතාව නායයෑම් අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවටයි ඒ මහතා අවධාරණය කරන්නේ.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර හැකි ඉක්මනින් එවැනි ස්ථානවලින් ඉවත්ව ජීවිත ආරක්ෂාව සලසා ගන්නා ලෙසද ආචාර්ය වසන්ත සේනාධීර මහතා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර දිස්ත්‍රික්ක තුනක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක 4ක් සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු අඟවා තිබේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)

මහනුවර දිස්ත්‍රික්කය:
– උඩදුම්බර

නුවර එළිය දිස්ත්‍රික්කය:
– නිල්දණ්ඩාහින්න
– ⁠වලපනේ

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න

බදුල්ල දිස්ත්‍රික්කය:
– කන්දකැටිය

මාතලේ දිස්ත්‍රික්කය:
– විල්ගමුව

නුවරඑළිය දිස්ත්‍රික්කය:
– ⁠හඟුරන්කෙත
– ⁠මතුරට

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න 

බදුල්ල දිස්ත්‍රික්කය:
– බදුල්ල
– ⁠හාළිඇළ
– ⁠පස්සර
– ⁠ලුණුගල 
– ⁠වැලිමඩ
– ⁠මීගහකිවුල

මහනුවර දිස්ත්‍රික්කය:
– දොළුව⁠

මාතලේ දිස්ත්‍රික්කය:
– ⁠අඹන්ගඟ කෝරළය

මොනරාගල දිස්ත්‍රික්කය:
– බිබිල