පිංබර දුරුතු පුන් පොහෝ දිනය අදයි

2026 වසරේ පලවෙනි පොහෝ දිනය වන දුරුතු පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

දුරුතු පොහෝ දිනය ශාසනික සහ ඓතිහාසික වැදගත්කම් රැසක් ඇති ශ්‍රී ලාංකිකයන්ට වඩාත් සුවිශේෂී වූ පොහෝ දිනයක් වනවා.

ඒ මන්ද යත් බුද්ධත්වයෙන් නව වැනි මස බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම අද වන් වූ දුරුතු පුන් පොහෝ දිනයක සිදු වීම නිසායි.

මහියංගයයේ දී සිදු වූ යක්ෂ ගැටුම් සමථයකට පත් කරමින් බුදුරජාණන් වහන්සේ විසින් එම යක්ෂයක් ගිරි දිවයිනට පලවා හැරියා.

බණ අසා සෝවාන් බවට පත් වූ සුමන සමන් දිව්‍ය රාජයා විසින් “ස්වාමීනි අපට පූජාර්හ වස්තුවක් දුන මැනවැ”යි, ආයාචනා කරන ලදී. බුදුරජාණන් වහන්සේ ඔහුට කේශ ධාතු මිටක් දී පෙරලා උරුවෙල් දනව්ව බලා වැඩම කරනු ලැබුවා.

සුමන සමන් දිව්‍ය රාජයා බුදුරදුන්ගේ කේශධාතුන් වහන්සේ ස්වල්පය රන් කරඬුවක තැන්පත් කොට සත් රියනක් උස සෑයක නිධන් කළේ ය.

එම සෑය ඉදිකළේ එදා බුදුරදුන් ධර්මය දේශනා කරමින් වැඩ සිටි ස්ථානයේ ම ය. මෙසේ ලෝකයේ ප්‍රථම දාගැබ වූ මහියංගණ දාගැබ බුදුරදුන් ජීවමාන ව සිටියදී ම නිර්මාණය කොට පූජෝපහාර දැක්වීමේ ගෞරවය සුමන සමන් දිව්‍ය රාජයාට හිමි වනවා.