මේ දක්වා රේගුවෙන් රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක්

වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත් නොවැම්බර් මාසය වනවිට එම ආදායම ඉක්වමවූ ආදායම් රැස් කිරීමට හැකි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය.

ඒ අනුව නොවැම්බර් මාසය වන විට මෙම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධන කර තිබෙනවා.

කෙසේවෙතත් එම සංශෝධිත ඉලක්කයද මේ වන විට ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්.

මේ වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා,

”මෙම වසරේ ආදායම් ඉලක්කය සකස් කරන කොට ගිය වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1531 මේක මේ වසරේ රුපියල් බිලියන 2115 විදිහට ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ දැම්මේ වාහන ආනයන කිරීම සඳහා 2025 අවුරුදේ දී අවසර ලබා දෙනවා කියලා තීන්දුව අරන් තිබුණා ඒකත් සැලකිල්ලට අරන්.. එහෙම තමා ආදායම් ඉලක්කය සකස් කරලා තිබ්බේ.. හැබැයි එම ආදායම් ඉලක්කය ඉක්මවා යන්න වාහන ආනයනය හේතුවක් වුණා වගේම විශාල වශයෙන් බලපෑම් වුණා රේගුව තුළ අරන් තිබුණ විවිධ ක්‍රියාමාර්ගයන්.”