මම මේජර් ප්‍රසන්නගේ දුව – යොහානි රහසක් හෙළි කරයි

යොහානිද සිල්වා යන නම දවසින් දවස යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍යයේ ජනප්‍රියත්වය වැඩි කරගන්නා නමක්. ඇය ගැයූ ගී ලක්ෂ ගණනක පිරිසක් අසා ඇති බවට අන්තර්ජාල දත්ත සපයනවා. ඒ නිර්මාණ අතරට දේශිය වගේම බටහිර ගීතත් රැසක් ඇතුලත් වෙනවා. මේ දිනවල ඇය හරි ජනප්‍රිය චරිතයක්. ඇත්තටම ඇය කවුද?.

ඇයට ගොඩක් දෙනෙක් දන්නේ භාතිය සමග සිරිසඟබොදි ගීතය ගායනා කරපු දඟකාර කටකාර තරුණිය විදිහට. හැබැයි මෙයාගේ තාත්තා ඔයාල හොඳට දන්න දැවැන්ත රණකාමියෙක්. මානූෂීය මෙහෙයුමේ 57 වැනි සේනාංකය භාරව කටයුතු කළේ. යොහානි ගේ තාත්තා විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ දුව ඇය. මේ ඇය ගැන තොරතුරුයි

පේලි කිහිපයකින් හැදින්විමකින් ඔබව රටට හදුන්වා දෙන්න කිව්වොත්?

මගේ නම යොහානි ද සිල්වා. කලාවට සහ ව්‍යාපාර ක්ෂේත්‍රයට හුගාක් ආදරය කරන කෙනෙක් කියන හැදින්වීම තමයි මට වැඩිපුර ගැලපෙන්නෙ.

යොහානි මේ දිනවල හරි ජනප්‍රිය චරිතයක්. එතකොට ඔබට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

මේ දවස්වල හොඳයි. මගේම ගීත දෙකක් එළිදැක්වූවා. ඉතිං ලැබෙන ප්‍රතිචාර ඉහළයි.

යොහානි ගායනයට පිවිසුණේ ?

මම පුංචි කාලේ සංගීතය හැදෑරුවා. හැබැයි ඒ දිනවල ගීත ගායනා කළේ නෑ. සරසවි අධ්‍යාපනය ලබන කාලේ තමයි පොඞ්ඩ පොඞ්ඩ ගායනයට පිවිසුණේ. 2016 මගේ යූ ටියුබ් නාලිකාව ආරම්භ කළා. ඊට පසුව තමයි ගායනයට පිවිසුණේ.

භාතිය සන්තුෂ් ඩ‍්‍රයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගයේ ගායනා කළ සිරිසඟ බොදි ගීතය ගැන කතා නොකරම බැහැනේ ?

ඩ‍්‍රයිව් ඉන් කොන්සර්ට් එකට කලින් මම සහභාගි වුණේ රෙඞ්බුල් කොන්සර්ට් එකට. ඒකෙදි තමයි පළමු වරට ඔය ගීතය ගායනා කළේ. හරි ජනප්‍රිය වුණා.

පාසල් කාලය ගැන යමක් කිව්වොත්

මම සාමාන්‍ය පෙළ දක්වා ගියේ කොළඹ විශාකා විද්‍යාලයට. පාසල් කාලයේදි නම් මම වැඩිපුර කැමති වුණේ ක්‍රීඩාවට උසස් පෙළ හදාරන්න මම එංගලන්තයට ගියා. ඊට පස්සේකොතලාවල ආරක්ෂක විද්‍යාලයෙන් කළමනාකරණ උපාධියක් ලබාගත්තා. දැන් මම ආපහු ඊළග උපාධිය සදහා ඔස්ට්‍රේලියාවේ ක්වන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් ඉන්නවා.

පවුලේ විස්තර ?

පවුලේ විස්තර කිව්වොත් ශ්‍රී ලංකා යුද හමුදාවට විශාල මෙහෙයක් කළ මේජ ජෙනරාල් ප්‍රසන්නද සිල්වා මගේ තාත්තා මගේ අම්මා දිනිති ද සිල්වා ඇය ශ්‍රී ලංකා ගුවන් සේවයේ රැකියාව කළා. මගේ නංගි ශවින්ද්‍රි වෙෙද්‍ය ශිෂ්‍යාවක්.

ඔබේ ආයේ ගීතය ගැන යමක් පැවසුවොත් ?

ආයේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ මමමයි. ඩිරංජන් සෙනවිරත්න තමයි පද රචනය සිදුකළේ. පසන් තමයි මික්ස් ඇන්ඞ් මාස්ටරින් කරලා ගීතය නිර්මාණය කළේ.

යොහානි රැප් ගායනයට තමයි කැමැති. එහෙමද?

මම පුංචි කාලේ ඉඳන් හිපොප් සංගීතයට තමයි වැඩි නැඹුරුවක් දැක්වූයේ. ඒක නිසා රැප් සංගීතයට පොඩි ආසාවක් තියෙනවා.

සංගීතය ඔබ විෂයක් හැටියට හැදෑරුවද?

මගේ අම්මා තමයි මුලින්ම මට සංගීතය කියලා දුන්නේ. පස්සේ මාව පියානෝ වාදන පන්තියකට අරන් ගියා කොහොමත් පුංචි කාලේ ඉදලම මම ගිටාරයත්, පියානෝවත් වාදනය කළා.

යොහානි ටිකක් වෙනස්ම විදිහට තමයි තරුණ තරුණියන් අතර ජනප්‍රිය ?

ඇත්තටම මම විලාසිතාවලට කැමැතියි. සමාජ මාධ්‍යවලට යන විදිහ හා මම සහභාගි වෙන අවස්ථා අනුව තමයි විලාසිතා සිදුකරන්නේ.

යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍යෙයේ ඔබ තරුවක් ඒ ගමන ඇරඹුනේ කොතැනින්ද?

මම කොහොමත් සැලසුම් කර පටන් ගත් ගමනක් නොවෙයි මේ. ඒත් මට ලැබුණු විවිධ අවස්ථාවලදි මම සංගීත තරග හා ප්‍රසංගවල ගීත ගායනා කළා. එම නිසා මගේයාළුවො දැන හිටියා මට යන්තම් දුරට ගායනා කරන්න පුළුවන් කියලා මේ අතරතුරදි මට දිලංජන් සෙනෙවිරත්න ඇතුළු තීවිර කණ්ඩායම මුණ ගැහුනා. එතනදි හුගක්විශේෂ සිදුවීමක් වුණා.තීවිර සමනිර්මාතෘ නුවන් විජේසිංහ එක්ක මම මගේ පළමු සිංදුව එළිදැක්වුවා. මේ සදහා මා සමග සහයෝගයෙන් කටයුතු කළ තිරජීව දේවසුරේන්ද්‍ර සහ අවිශ්ක ලක්නාත් වෙත ස්තූතිය පළ කරනවා.

සිරිසඟබොදි ගීතය ගැන භාතිය මොනවද කිව්වේ ?

මට භාතිය ආරාධනා කළහම කිව්වේ සිරිසඟබොදි කරමු කියලා. නමුත් මම දැනගෙන හිටියේ නැහැ මේ තරම් ඒ වැඬේ ජනප්‍රිය වෙයි කියලා. ඇත්තටම ඒ අවස්ථාව නිසා මම ලොකු අභියෝගයක් ජයගත්තා සේම හොඳ පුහුණුවකුත් ලැබුණා.

දැන් භාතිය සන්තුෂ් එක්ක වැඩ කරනවාද?

ඔවුන්ගේ ප්‍රසංගවලට ආරාධනා කළොත් මම ඊට සහභාගි වෙනවා.

යොහානිගේ ගීත එකතුවක් කරන්න අදහසක් නැතිද?

ඔව්. අදහසක් තියෙනවා. මේ වසරේ තව ගීත හයක් එළිදක්වන්න සූදානමක් තියෙනවා. ලබන වසරේ ගීත එකතුවක් එළිදක්වන්න සූදානමක් තියෙනවා.

රැප් සංගීතය නිසා බැණුම් අහන්න සිද්ධ වුණ අවස්ථා තියෙනවාද?

අම්මෝ. ගොඩක් තියෙනවා. ගොඩක් මිනිස්සු බැනලා තියෙනවා.

ඒ වෙලාවට හිතෙන්නේ නැතිද ගායන විලාසය වෙනස් කරන්න ඕනෑ කියලා ?

මට හදාගන්න පුළුවන් වැරැද්දක් නම් හදාගන්න බලනවා.

යොහානි ද සිල්වා කියන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ දුව ?

ඔව්. මම විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ දුව.

ඔබේ ගායන වැඩවලට තාත්තාගෙන් විරුද්ධත්වයක් නැතිද?

විරුද්ධත්වයක් නැහැ. මම මුලින්ම මගේ වෘත්තිය හැටියට කරගෙන ආවේ ගිණුම්කරණය. එක්වරම ඒක අතහැරලා ලංකාවට ආවහම මුලදී පුංචි විරුද්ධත්වයක් තිබුණා ඇයි එහෙම කළේ කියලා. දැන් තාත්තා මට ලොකු සහයෝගයක් ලබාදෙනවා.

විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ දුව වීම ගැන මොකද හිතෙන්නේ ?

ගොඩක් ආඩම්බරයි.

තාත්තා නිසා දුවට තියෙන පිළිගැනීම ?

ඇත්තටම දැන් තමයි ගොඩක් දෙනෙක් අපේ තාත්තා කවුද කියලා දැනගන්නේ. මම ඒ කතාව කාටවත් කියලා නෑ.

හැබැයි භාතිය මේ රහස වේදිකාවේදී හෙළිකළා නේද?

ඔව්. භාතිය තමයි මේ කතාව මුලින්ම ප්‍රසිද්ධ වේදිකාව උඩදී කිව්වේ. දැන් ඉතිං දිගින් දිගටම හැමෝම එ ගැන අහනවා.

මේ කතාව එළියට ආවට පස්සෙ ඔබට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

මෑත කාලයේ තමයි ඒ වගේ දේවල් අහන්න ලැබුණේ මම ඇත්තටම තාත්තා ගැන සතුටුයි තාත්තා ගැන ගොඩක් ආඩම්බරයි මිනිස්සු කතා කරනවා.

ඇයි මේ කතාව කේෂ්ත්‍රයට එනකොට කිව්වේ නැත්තේ ?

මට තාත්තා ගැන කියලා ගායනයට එන්න වුවමනාවක් තිබුණේ නැහැ.

තාත්තාගේ නම භාවිතා කරලා ඔබට වැඩි ඉඩක් ගන්නේ තිබුණානේද?

එහෙම අදහස් මගේ හිතේ තිබුණේ නැහැ මම සංගීතය කරන්නේ කැමැති නිසා මම මගේ හැකියාවන්වලින් ඉදිරියට එන්න තමයි උත්සාහ කළේ මට ලොකුවට ජනප්‍රිය වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ

තාත්තා රැප් සංගීතය කරන්න එපා කියන්නේ නැතිද?

නැහැ නැහැ එහෙම කියන්නේ නැහැ තාත්තාගෙන් සංගීතයට සීමාවන් වැටිලා නැහැ තාත්තා තමයි මට පළවැනි ගිටාර් එක අරගෙන දුන්නේ තාත්තා වෙනුවෙන් ගීතයක් කළා ඒක දෙසැම්බර් මාසයේ එළිදක්වනවා.

ස්තූති කරන්න කවුරු හරි ඉන්නවද?

ඔව්.. අම්මා,තාත්තා,නංගි මුලින් මතක් කරන්න ඕන. හැමදේකටම පස්සෙන් ඉන්නේ ඒ අය. දිලංජන්,නුවන්,බානුර,ඇතුළු තීවිර කණ්ඩායමටත් ස්තූතියි. අනෙකුත් ගීත වලට සහය වුනු ජෙටෝන්,මාට්නෙස්,තිරාජිවි,දේවසුරේන්ද්‍ර,සදුනි බස්නායක,තුලසි සජ්ජද අවිශ්ක ලක්ත්නාත්,සිදත් ප්‍රනාන්දු,චමින්ද ජෝසප්,අශාන් පෙරේරා ඇතුළු, සියලුම මිතුරන් සහ රසික රසිකාවියනුත් ආදරයෙන් මතක් කරනවා.

කොටුව පත්තරේ උපුටා ගැනීමක්