රු. 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක ප්‍රමාණයකට බෙදා අවසන්

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම නිවාස යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ  සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසනවා.

ඒ අනුව මේ වන විට ගෙවීමට ඇති සුදුසු නිවාස සංඛ්‍යාව අතුරින් ආපදාවට පත්වූ නිවාස 642,375 න් 469,457ක් ලෙස ගණනය වී ඇති බවත් මේ වන විට එම නිවාස අතුරින් නිවාස 299,513කට මේ වන විටත් ගෙවා අවසන් කර තිබෙනවා.

අද උදෑසන වන විට තවත් නිවාස 169,944කට ගෙවීමට තිබූ බවත් මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 7,487ක වැය බරක් දරා ඇති බවත් ඒ මහතා සඳහන් කරනවා.

එමෙන්ම මේ වන විට කඩිනම් සහන සඳහා රජය විසින් රුපියල් මිලිය 4,197ක් වියදම් කර ඇති බවත් මේ වන දේශීය සහ විදේශීය වශයෙන් විශාල ආධාර ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ  සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා,

“මෙම විදේශීය ආධාර අතරට ආහාර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, ඊශ්‍රායලය, මාලදිවයින, පාකිස්ථානය, ඕමානය, රුසියාව, තුර්කිය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අපිට ටොන් 2,125ක් ලබා දීලා තියෙනවා විදේශීය ආධාර වශයෙන්. මෙම ආධාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල 20ක් තුළ මේ වන විට ටොන් 1,247ක් බෙදා හැර අවසන්. ඉතිරි ප්‍රමාණය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉල්ලීම් ලැබෙන අනුපිළිවෙළ මත බෙදා හැරීම් කරනවා. 

මීට අමතරව ප්‍රධාන උපකරණ චීනය, ස්විස්ටර්ලන්තය, ජපානය, ඊශ්‍රායලය, පකිස්ථානය, රුසියාව, ලෝක ආහාර වැඩසටහන මගින් අපිට ලැබිලා තියෙනවා අයිතම 270ක් මේවාවලින් 130ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා බෙදා දී අවසන්. ඒ වගේම සිවිල් ඉංජිනේරු භාණ්ඩ විශේෂයෙන්ම පාලම් ඉන්දියාවෙන් ලැබුණා ටොන් 55ක් මෙම ටොන් 55ම පාලම් අපි මාර්ග සංවර්ධන අධිකාරිය වෙත මේ වන විට මුදා හැරලා තියෙනවා. 

ඒ වගේම ඖෂධ ද්‍රව්‍ය ඉන්දියාව, මියෙන්මාරය, බංග්ලාදේශය, ඊශ්‍රායලය සහ පකිස්ථානය කියන රටවල්වලින් ටොන් 26.5ක් ලැබිලා තියෙනවා මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට විදිමත්ව භාර දී අවසන්. 

විවිධ කූඩාරම් වර්ග චීනය, පකිස්ථානය, රුසියාව සහ ලෝක ආහාර වැඩසටහනෙන් ලැබිලා තියෙනවා. අයිතම වශයෙන් 13,048ක්. ඒකෙන් මේ වන විට 3,150ක් බෙදා හැරලා අවසන්. 

ආපදාවට පෙර චීන ආධාර යටතේ ලැබුණ මේ වගේ භාණ්ඩ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත බෙදා හැරලා පෙර සූදානම් වෙලා තිබුණේ. විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල 17ක් තුළ මේ භාණ්ඩ බෙදා හැරලා තියෙනවා. 

ඒ වගේම නිවාසවල භාවිත කරන උපකරණ චීනය, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලෝක ආහාර වැඩසටහන මගින් අයිතම 5206ක් අතුරින් 3274ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 18කට බෙදා හැරලා තියෙනවා. ඒ වගේම රෙදිපිළි ප්‍රංශයෙන් ඉන්දියාවෙන්, මාලදිවයින, කැනඩාව, ඕස්ට්‍රේලියාව, කටාර් යන රටවල්වලින් ටොන් 21ක පමණ ප්‍රමාණයක්. මෙයින් ටොන් 8ක් පමණ බෙදා හැරලා අවසන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 12කට. 

වෙනත් විවිධ ද්‍රව්‍ය ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, පාකිස්ථානය වෙතින් ටොන් 4ක් පමණ ලැබිලා තියෙනවා මෙයින් ටොන් .4ක් බෙදා හැරලා අවසන්.”