ඊසානදිග මෝසම හේතුවෙන් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් අද (10) දිනයේ උතුරු,  උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. 

මීට අමතරව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. 

එසේම මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි වනවා. ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. 

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.