නිවාස පිරිසිදු කර ගැනීමට දෙන මුදල රු.25,000 දක්වා ඉහළට

ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව යළි සිය නිවාසවලට යාමේදී ඒවා පිරිසිදුකරගැනීම සඳහා ලබා දීමට සැලසුම් කළ රුපියල් දසදහසක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ ද දැමීමට තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව සඳහන් කළා. 

“ආපදා තත්ත්වය නිසා විපතට පත්වෙලා තියෙන ජනතාවට අවශ්‍ය කරන සහනය කඩිනමින් සලස්වාදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කරලා තිබුණා. අවශ්‍ය කරන ප්‍රතිපාදන සැලසීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඒ අනුව මේ විපතට පත්වෙලා ඉන්න ජනතාවට කඩිනමින් තම තමන්ගේ නිවාස වෙත ගිහිල්ලා අවශ්‍ය කරන පිළිසකර කිරීමේ කාර්ය හැකි විදිහට ආරම්භ කරවා ගැනීම සඳහා මුලින් ඉල්ලා සිටි රුපියල් 10,000ක මුදල වෙනුවට රුපියල් 25,000ක් මුදලක් දෙන්න මුදල් අමාත්‍යාංශය විසින් අපි අනුමැතිය දුන්නා.ඒ අනුව ලබාදෙන සමස්ත මුදල රුපියල් මිලියන හත්දහස් පන්සීයක් එය කඩිනමින් ලබාදෙන්න කියලා කිව්වා. ඒ වගේම මේ දක්වා ආපදාවකට පත්වෙලා ඉන්න පවුලකට අපි ගෙවන්න සූදානම් වෙලා හිටියේ රුපියල් 3,600ක මුදලක් පවුලේ සාමාජිකයින් අනුව, එම මුදල  මේ වෙනකොට රුපියල් 10,500 දක්වා එක පවුලකට ගෙවන මුදල වැඩිකරලා තියෙනවා”