ගැඹුරු අවපීඩන අවපාතය සුළිකුනාටුවක් දක්වා වර්ධනය වෙයි

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට, සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම සුළිකුණාටුව “දිට්වා ” [Ditwah] සුළිකුණාටුව ලෙසින් නම්කර ඇති අතර එය උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාවක් ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි සහ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.