දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක අවදානමක්

පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දැදුරුඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රසනායකපුර  යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට අයත් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවය.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

මේ අතර කුඹුක්කන්ඔය ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ මොනරාගල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ගම්මාන කිහිපයක පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නක්කල, කුඹුක්කන, මාදුරුකැටිය, ඔක්කම්පිටිය හා ගාමිණිපුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට මෙම අවදානම පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එසේම නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය ද තවදුරටත් වර්ධනය වීමේ අවදානම පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.