පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රමයෙන් වධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් එය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
නැගෙනහිර, මධ්‍යම, උතුරු – මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කාරුණික ඉල්ලීමක් කරනවා.