ලෝක දියවැඩියා දිනය අදයි

ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී තිබෙනවා.

ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය (International Diabetes Federation – IDF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization – WHO) විසින් දියවැඩියා රෝගයේ ව්‍යාප්තිය සහ එහි බලපෑම් පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ සඳහා නොවැම්බර් 14 වැනිදා තෝරාගෙන ඇත්තේ ඉන්සියුලින් සොයා ගැනීමට මූලික වූ ෆෙඩ්රික් බන්ටින්ග් (Frederick Banting) මහතාගේ උපන් දිනය වීම හේතුවෙනුයි.

දියවැඩියාව යනු ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේ ඇතිවන අක්‍රමිකතාවයක් හේතුවෙන් රුධිරයේ ග්ලූකෝස් (සීනි) මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාමයි.

මෙහි ප්‍රධාන ප්‍රභේද දෙකකි.

Type 1 දියවැඩියාව

ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛල විනාශ කිරීම නිසා ඇතිවේ. මෙහි දී අග්න්‍යාශය (Pancreas) මඟින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපදවීම අඩුවීම සිදු වේ. මෙම රෝගීන්ට ජීවිත කාලය පුරාම බාහිරින් ඉන්සියුලින් ලබා දිය යුතුය. මෙය ළමා හෝ තරුණ අවධියේදී ඇතිවේ.

Type II දියවැඩියාව

ශරීරය ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී වීම හෝ ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට අසමත් වීම නිසා ඇතිවේ. මෙහි දී ශරීර සෛල නිපදවන ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර නොදකවමින් ප්‍රතිරෝධයක් පෙන්වයි. මෙය අධික තරබාරුකම, ව්‍යායාම මදිකම සහ දුර්වල ආහාර රටාව වැනි ජීවන රටා සාධක සමඟ දැඩිව බැඳී ඇත.

මෙහි ලක්ෂණ ලෙස දැඩි පිපාසය, නිතර මුත්‍රා පිටවීම, තෙහෙට්ටුව සහ විඩාව, තුවාල සුව වීම ප්‍රමාද වීම දියවැඩියාවේ ප්‍රධාන ලක්ෂණ වනවා.

දියවැඩියාව සුව කළ නොහැකි නමුත්, එය මනා ලෙස පාලනය කළ හැකි රෝගී තත්ත්වයක්.

සීනි සහ පිෂ්ඨය අඩු, කෙඳි බහුල ආහාර වේලක් පවත්වා ගැනීම., නිතර ව්‍යායාම කිරීම, නිතර රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරික්ෂා කිරීම දියවැඩියාව කළමනාකරණයට සහ වලක්වා ගැනීමට උපකාරී වෙනවා.