පිංබර ඉල් පුන් පොහෝ දිනය අදයි

වස්සාන ඍතුවේ අවසාන පොහොය වන ඉල් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ඉල් පොහෝ දිනය යනු ශාසනික සහ ආගමික විශේෂ සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස සැලකිය හැක.

මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ මෙයින‍් සෙ‍ාළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් යට මතු බුදු වනු පිනිස නියත විවරණ ලැබුවේ අද වන් වූ ඉල් පොහෝ දිනයක වනවා.

බරණැස ඉසිපතනාරාමයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කොට ප්‍රථම ධර්ම දූත පිරිස වූ රහතන් වහන්සේලා සැට නම අමතා ධර්මදූත සේවයෙහි යෙදවූයේ ද ඉල් පොහෝ දිනයක ය.

“චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ‍ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, මා එකෙන ද්වෙ අගමිත්ථ, දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෙසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤ්ජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ” 

(“මහණෙනි! බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද, දෙව් මිනිසුන්ට වැඩ පිණිස ද, හිත පිණිස ද, සැප පිණිස ද, චාරිකාවෙහි හැසිරෙවු. දෙනමක් එක් මගින් නො යවු. මහණෙනි, මුල මැද අවසැන යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසවු. පිරිසිදු වූ බ්‍රහ්මාචර්‍ය්‍යය ප්‍රකාශ කරවු”)

බුදුරජාණන් වහන්සේ ගේ අග්‍රශ්‍රාවක නමගෙන් එක් අයෙක් වන සැරියුත් මහා රහතන් වහන්සේ පිරිනිවනට පත් වීම ද ඉල් පොහෝ දිනයක සිදු වී තිබෙන බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

ථුපාරාමයේ තැන්පත් කිරීම සඳහා සුමන සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට සර්‍වඥ ධාතූණ් සහ විශේෂයෙන් දකුණු අකුධාතූන් වහන්සේත් රැගෙන ඒම ද ඉල් පොහෝ දිනයක සිදු ව තිබෙන බව සඳහන්.

ඉල් පොහෝ දිනය වන විට කටින චීවර පින්කම් සිදු කර අවසන් කළ යුතු වනවා.