ලෝක පැස්ටා දිනය අද

ලොකු පොඩි කවුරුත් කන්න ආස, එක එක ක්‍රම ගොඩකට හදන්න පුළුවන් රසම රස ඉතාලි කෑමක් තමයි පැස්ටා කියන්නේ.

ඉතින් අද, ඒ කියන්නේ, ඔක්තෝම්බර් 25 කියන්නේ පැස්ටා වෙනුවෙන්ම වෙන් කරලා තියෙන ලෝක පැස්ටා දිනය.

1995 දී ඉතාලියේ රෝමයේ පැවති පළමු ලෝක පැස්ටා සම්මේලනයේ දී තමයි මේ දිනය මුල්වරට නම් කරලා තියෙන්නේ. ලොව පුරා පැස්ටා නිෂ්පාදකයින් 40 දෙනෙකු විසින් මේ දවස ආරම්භ කරලා තියෙනවා. අද වන විට එය ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර පැස්ටා සංවිධානය (International Pasta Organization – IPO) විසින් සංවිධානය කරනු ලබනවා.

පැස්ටා වල සංස්කෘතික හා සූපශාස්ත්‍ර වැදගත්කම ලොව පුරා ප්‍රවර්ධනය කිරීම මේ දිනයේ අරමුණ වෙනවා.

පැස්ටා වල අතීතය ක්‍රිස්තු පූර්ව ගණන් වලට දිව යනවා. ක්‍රි.පූ. 400 තරම් ඈත අතීතයේදී එට්‍රස්කන්වරුන් (Etruscans) විසින් ඉතාලියේ පැස්ටා වැනි පිටිවලින් සෑදූ ආහාර නිෂ්පාදනය කළ බවට සාක්ෂි හම්බ වෙලා තියෙනවා. ඒ වගේම පුරාණ රෝමවරුන් ‘ලගානා’ (lagana) නම් වූ බැදපු පිටි තහඩු අනුභව කර ඇත. නූතන ලසඤ්ඤා (lasagna) යනු මෙහි පූර්වගාමියා විය හැකි බවට විශ්වාස කරනවා.

“Pasta” යන වචනය ලතින් සහ ග්‍රීක භාෂාවෙන් පැවත එන්නක් වනවා. එහි තේරුම “බාර්ලි කැඳ” (barley porridge) හෝ “පිටි ගුලිය/මිශ්‍රණය” යන්නයි. ඉතාලි භාෂාවෙන් නම් එය “පේස්ට්” (Paste – පිටි මිශ්‍රණය) යන අර්ථය ගනී.

බොහෝ දෙනා විශ්වාස කරන්නේ මාකෝ පෝලෝ 13 වැනි සියවසේදී චීනයේ සිට පැස්ටා ඉතාලියට ගෙන ආ බවයි. නමුත් ඉතිහාසඥයන් පවසන්නේ ඊට බොහෝ කලකට පෙර සිටම ඉතාලියේ පැස්ටා භාවිතයේ තිබූ බවයි. ඒ නිසා ඔන්න පැස්ටා කියන්නේ made in china දෙයක් නම් නෙමෙයි.

14-15 සියවස් වලදී පැස්ටා වියළා කල් තබා ගැනීමේ පහසුව නිසා එය වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා. පැස්ටා මුලින්ම ආහාරයට ගෙන ඇත්තේ කිසිදු සෝස් වර්ගයක් නොමැතිව. ඇතැම් විට සීනි, කුරුඳු හෝ මෘදු චීස් සමග අතුරුපසක් ලෙස පවා එය අනුභව කරලා තියෙනවා කියලා කියනවා. 16 වැනි සියවසේදී තක්කාලි යුරෝපයට පැමිණීමත් සමඟ පැස්ටා සහ තක්කාලි සෝස් (tomato sauce) ඉතාලි ආහාරයේ ප්‍රධානතම අංගය බවට පත් වෙලා තියෙනවා.

ඒ වගේම 17 වැනි සියවසෙන් පසු පැස්ටා නිෂ්පාදන යන්ත්‍ර හඳුන්වා දීමෙන් එය වඩාත් සුලභ ආහාරයක් බවට පත් වුණා. පැස්ටා නිෂ්පාදන යන්ත්‍ර හඳුන්වා දීමට පෙර, නේපල්ස් හි පැස්ටා කර්මාන්තශාලා වල, පිටි ගුලිය සකස් කිරීම සඳහා සේවකයන් එය පාවහන් නොමැතිව කකුල් වලින් දණ ගසා මිශ්‍ර කළා කියලා තමයි කියන්නේ.

පැස්ටා වල පෝෂණ ගුණය ගත්තොත් එක හොඳ ශක්තිජනක ආහාරයක්. එහි කාබෝහයිඩ්‍රේට සහ තන්තු අඩංගු වෙනවා. අද වෙනකොට විවිධ නිෂ්පාදකයන් විසින් ෆෝලික් ඇසිඩ්, යකඩ වගේ දේවලුත් මේ පැස්ටා වලට එකතු කරලා එයාලගේ පැස්ටා හදනවා.

ඔයාලා දන්නවා ද මේ වෙනකොට ලෝකයේ හැඩතල 600කට වඩා වැඩි ප්‍රමාණයක පැස්ටා තියෙනවා කියලා. ඒ අතරින් Spaghetti කියන්නේ වඩාත් ජනප්‍රිය පැස්ටා වර්ගය වෙනවා.

ඉතාලි ජාතිකයන් විසින් වසරකට පරිභෝජනය කරන සාමාන්‍ය Spaghetti ප්‍රමාණය කිලෝමීටර මිලියන 600 ක් පමණ වන අතර, එයින් පෘථිවිය වටා 15,000 වතාවක් පමණ එතීමට හැකි බව ගණන් බලා තියෙනවා.

ඒ වගේම පැස්ටා සඳහාම වෙන් වූ ජාතික කෞතුකාගාරයක් (Museo Nazionale della Pasta Alimentari) ඉතාලියේ රෝමයේ පිහිටා තියෙනවා.

Museo Nazionale della Pasta Alimentari

ඉතින් ඔන්න අද මේ පැස්ටා දවසේ අලුත් පැස්ටා රෙසිපියක් try කරන්න අමතක කරන්න එපා…! Bon Appétit.