නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් ලිපියක් නිකුත් වෙයි

2026 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමට නියමිත 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් ලිපිය මේ වන විට නිකුත් කර තිබෙනවා .

21 වන ශත වර්ෂයෙන් හා ඉන් ඔබ්බට ඇති වන අභියෝගවලට මුහුණ දිය හැකි මෙන් ම තිරසර ජාතික සංවර්ධනයට සහ රටෙහි සාමය උදෙසා දායක විය හැකි පුරවැසියෙකු බිහි කිරීමේ පදනම සකස් කිරීම ඉලක්ක කර ගනිමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා රජය කටයුතු කරමින් සිටිනවා.

2026 වර්ෂයේ සිට ක්‍රමිකව සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට අපේක්ෂිත මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විෂයමාලා ප්‍රතිසංස්කරණය 2026 වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියටත් කනිෂ්ඨ ද්වීතීයික අංශයේ 6 ශ්‍රේණියටත් හඳුන්වා දීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඒ අනුව 1 හා 6 ශ්‍රේණිවල නව විෂයමාලාව ක්‍රියාත්මක කිරීම සඳහා පාසල් සූදානම් කිරීමේ ක්‍රියාවලියට මාර්ගෝපදේශයක් ලෙස මෙම උපදෙස් ලිපිය නිකුත් කර ඇත.

සමස්ත ප්‍රතිසංස්කරණ සඳහා අදාළ පරිදි චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පහත අධ්‍යාපන ප්‍රතිපත්තිමය මූලධර්ම මත සකස් කර තිබෙනවා .

  • නිදහස් අධ්‍යාපනය සහ සම ප්‍රවේශය
  • මානව සංවර්ධනයට සහ සේවා නියුක්තියට අදාළත්වය
  • සියල්ලන්ට ම පිළිගත හැකි බව
  • සමාජයට වග වන පුරවැසියන්
  • තිරසර බව සහ නවෝත්පාදනය
  • යාවජීව අධ්‍යාපනය