ලෝක ආහාර දිනය අද

ලෝක ආහාර දිනය අදට (16) යෙදී තිබෙනවා.

ආහාර යනු මූලික මිනිස් අවශ්‍යතාවයක් වන අතර ශරීරය පවත්වා ගෙන යෑමට අවශ්‍ය ශක්තිය, පෝෂණය සියල්ල සැපයෙන්නේ ආහාර මඟින් වනවා.

මෙවර ලෝක ආහාර දිනයේ එහි තේමාව වන්නේ “වඩා හොද ආහාර සහ වඩා හොද අනාගතයක් සදහා අත්වැල් බැදගමු” යන්නයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) 1945 ඔක්තෝබර් 16 දින පිහිටුවීම සිහිපත් කිරීම සඳහා මෙම දිනය නම් කර තිබෙනවා.

ලොව පුරා කුසගින්නෙන් සහ මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව පිළිබඳව දැනුවත් කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය හා තිරසාර ආහාර පද්ධතිවල වැදගත්කම ඉස්මතු කර දැක්වීම මෙම දිනය නම් කිරීමේ ප්‍රධාන අරමුණ වනවා.

ලෝකයේ ප්‍රමාණවත් තරම් ආහාර නිෂ්පාදනය කළත්, මිලියන ගණනක් තවමත් කුසගින්නෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන අතර, එය අවසන් කිරීමේ වැඩසටහන් දියත් කිරීම මෙම සංවිධානයේ ප්‍රධාන ඉලක්කයක් වනවා.

ගෝලීය ජනගහනයෙන් ආසන්න වශයෙන් මිලියන 673 ක් 2024 වසරේ දරුණු කුසගින්නෙන් පීඩා විඳ ඇති බවයි සංඛ්‍යාලේඛන වල දැක්වෙන්නේ.

මෙම ප්‍රමාණයෙන් වැඩි පිරිසක් අප්‍රිකාවේ සිටිනවා. අප්‍රිකාවේ සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා කුසගින්නෙන් පීඩා විඳින බවයි දැක්වෙන්නේ.

එසේම 2024 වසරේ රටවල් 53ක් පුරා මිලියන 295 කට වැඩි පිරිසක් උග්‍ර කුසගින්නෙන් පෙළී ඇතැයි වාර්තා වෙනවා. මෙය 2023 දී සටහන් වූ ප්‍රමාණයට වඩා ඉහළ යෑමක් වීම කනගාටුදායක කරුණක්.