හමාස් නිරායුධ නොවුනහොත් බලය යොදා ඔවුන්ව නිරායුධ කරනවා – නෙතන්යාහු

ගාසා තීරයේ සිටින හමාස් සටන්කාමීන් ස්වේච්ඡාවෙන් නිරායුධ නොවුණ හොත් ඔවුන්ව සිය බලය යොදා නිරායුධ කිරීමට සිදු වන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද කරුණු 20 කින් යුත් සාම සැලැස්ම යටතේ, එහි පළමු අදියරේදී ඊශ්‍රායලය සහ හමාස් අතර අඛණ්ඩව සිදුවන ප්‍රාණ ඇපකරුවන්-සිරකරුවන් හුවමාරුව සිදු කළ යුතු වනවා.

මේ වන විට ගාසා තීරයේ ජීවතුන් අතර සිටි සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැර තිබෙනවා.

එසේම මෙම සාම සැලසුම යටතේ හමාස් සංවිධානය නිරායුධ කළ යුතු අතර එය පාලනය කරන ගාසා තීරය සම්පූර්ණයෙන්ම හමුදාකරණයෙන් තොර විය යුතු බව ද සඳහන් වනවා.

කෙසේවෙතත් හමාස් ආයුධ බිම තැබීමට සූදානම්ද යන්න තවමත් අවිනිශ්චිත බවයි වාර්තා වෙන්නේ.

ගිවිසුම යටතේ ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීමෙන් පසු, ගාසා නගරයේ හමාස් රජයේ පාලනය යටතේ ඇති සන්නද්ධ පොලිසිය ද වීදි මුර සංචාර නැවත ආරම්භ කර තිබෙනවා.