දිස්ත්‍රික්ක 12කට මී උණ අවධානමක්

මෙරට දිස්ත්‍රික්ක දොළහක් මී උණ (Leptospirosis) ව්‍යාප්ත වීමේ වැඩි අවදානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව ගාල්ල, රත්නපුර, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, ගම්පහ සහ මොණරාගල යන දිස්ත්‍රික්ක මෙලෙස මී උණ අවධානම් කලාප ලෙස හඳුනා ගෙන තිබෙනවා.

මෙහිදී මී උණ රෝගය සඳහා 2024 වසරේ සිට මේ දක්වා රෝහල්ගතව ඇති රෝගීන් සංඛ්‍යාව 21,963ක් වන අතර, වාර්තා වූ මරණ සංඛ්‍යාව 286ක් වනවා.

මේ අතර රෝගය පාලනය කිරීමට අවශ්‍ය වන ඩොක්සිසයික්ලින් (Doxycycline) නම් ඖෂධය රට තුළ ප්‍රමාණවත් තරම් ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

මී උණ පාලනය සඳහා මසකට ඩොක්සිසයික්ලින් පෙති 10,000ක් අවශ්‍ය වන බවත්, දැනටමත් මාස තුනකට අවශ්‍ය තොග ගබඩා කර ඇති බවත්, තවදුරටත් මාස නවයකට අවශ්‍ය ඖෂධ තොගයක්ද ඉදිරියේදී ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පිළිතුරු දෙමින් සඳහන් කළා.