සෑම පුද්ගලයන් පහකින් එක් අයෙකුට මානසික රෝගී තත්ත්වයක්

මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට කුමන හෝ මානසික රෝගී තත්ත්වයක් පවතින බවට සොයාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ සංජීවන අමරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී ඊයේ (29) පැවති සම්මන්ත්‍රණයෙකදී අදහස් දක්වමිනුයි.

ඒ අනුව වාර්තා වන සියදිවි නසාගැනීම්වලින් සියයට 50ක්ම මානසික රෝග හේතුවෙන් සිදුවන බවද ඔහු සඳහන් කළා.

එසේම දිනකට පුද්ගලයින් 8 දෙනෙකු සියදිවි නසා ගන්නා බවත්, එය වසරකට 3200ක් පමණ වන බවත් මෙහි දී සඳහන් කෙරුනා.

මෙහිදී අනාවරණය වී ඇත්තේ විශාදය (Depression) නම් ප්‍රධාන මානසික රෝගයට තරුණ තරුණියන් වැඩි දෙනෙක් ගොදුරු වී සිටින බවයි.

ජංගම දුරකථනයට ඇබ්බැහි වීම, ගංජා සහ අයිස් භාවිතය ආදී තත්ත්වයන් ඉහළ යාම මානසික රෝග වැඩිවීමට හේතුවක් වී ඇති බවත්, මත්පැන්වලට වැඩි වශයෙන් නැඹුරු වූ අය ද විශාද තත්ත්වයට ගොදුරු වන බවත් හඳුනාගෙන තිබෙනවා.

එසේම අන්තර්ජාලයට ඇබ්බැහි වෙන දරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර, ඒ අයට ප්‍රතිකාර කිරීමේදී රෝහල තුළ නතර කර ගැනීමට සිදු වන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.