STI ගැන දැනගමු

STI එහෙමත් නැත්නම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (Sexually Transmitted Infections) කියන්නේ ලිංගික සම්බන්ධතා හරහා පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන ආසාදන වලට.

මෙම රෝග බැක්ටීරියා, වෛරස්, දිලීර හෝ පරපෝෂිතයන් මගින් ඇති විය හැකිය.

මේ රෝගයේ තියෙන විශේෂත්වය සහ negative පැත්ත තමයි STIs ආසාදනය වී සිටින බොහෝ දෙනෙකුට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීම. එම නිසා, තමන් ආසාදනය වී සිටින බව නොදැන තවත් බොහෝ අයට රෝගය සම්ප්‍රේෂණය කරන්න පුලුවන්. ඒ වගේම නියමිත වේලාවට ප්‍රතිකාර නොකළහොත්, මේවා බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි වෙනවා.

HIV/AIDS, Syphilis, ගොනෝරියා, ලිංගික හර්පීස් සහ HPV (Human Papillomavirus) කියන්නේ බහුලව ලංකාවේ හඳුනා ගෙන තියෙන STI කිහිපයක්.

මේ අතරින් HIV/AIDS කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන වෛරස ආසාදනයක් වෙනවා. මේකට බෙහෙතක් නිශ්චිත වශයෙන් නැති නිසා වැඩියෙන්ම ගැටලුවට ලක් වෙලා තියෙන්නේ මේ STI එක කිව්වොත් වැරදි නැහැ.

මේකේ දී වෙන්නේ Human Immunodeficiency Virus කියන වෛරසය විසින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසක් වන T සෛල විනාශ කරනවා. මේ T සෛල සෛල ආසාදන හා රෝග වලට එරෙහිව සටන් කිරීමට ශරීරයට උපකාරී වෙනවා. ඉතින් කාලයක් ගත වෙනකොට අපේ ශරීරයේ තියෙන T සෛල ප්‍රමාණය අඩු වීම නිසා ශරීරය දුර්වල වී සාමාන්‍යයෙන් මාරාන්තික නොවන දුර්වල ආසාදන වලින් පවා මරණය ඇති වෙන්න පුළුවන්.

HIV ආසාදනයක් අනාරක්ෂිත යෝනි මාර්ගය, ගුද මාර්ගය හෝ මුඛ ලිංගික සම්බන්ධතා වලින් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මත්ද්‍රව්‍ය ආදිය ශරීරයට එන්නත් කර ගැනීමේ දී එකම එන්නත් කටු හුවමාරු කර ගැනීමෙන් ද HIV ආසාදනය වෙන්න පුළුවන්. එසේම ගර්භණී සමයේදී, දරු ප්‍රසූතියේදී හෝ මව්කිරි දීම මගින් මවගෙන් දරුවාට ද මේ HIV ආසාදනය වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි සිපගැනීම, වැළඳගැනීම, එකම වැසිකිළි හෝ පිහිනුම් තටාක භාවිතා කිරීම, සහ කෘමීන් දෂ්ට කිරීම් මගින් HIV අපිට ආසාදනය වෙන්නේ නැහැ.

HIV වලට සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් ප්‍රතිකාරයක් නැති වුණත් බෙහෙත් භාවිතා කරලා මේ වෛරසය පාලනය කරගත හැකි වෙනවා. මෙම ප්‍රතිකාර මගින් ශරීරයේ වෛරස් ප්‍රමාණය අඩු කර, ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථා තත්ත්වයට පත් කර, ආසාදිත පුද්ගලයාට සාමාන්‍ය දිවියක් ගත කිරීමට හැකි වෙනවා. ඒ වගේම තමයි නිසි ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු විසින්HIV සම්ප්‍රේෂණය කරන අවදානමද බොහෝ සෙයින් අඩු වෙනවා.

HPV කියන්නේ සම සහ ශ්ලේෂ්මල පටල ආසාදනය කරන ඉතා සුලබ වෛරසයකි. HPV වෛරස් වර්ග 200කට වැඩි ප්‍රමාණයක් තිබෙන අතර ඒවායින් සමහරක් ලිංගික ප්‍රදේශයට බලපානවා. මේ HPV ප්‍රධාන වශයෙන් සමේ ස්පර්ශය මගින් සම්ප්‍රේෂණය වෙනවා. බොහෝ අවස්ථාවලදී, HPV ආසාදනය කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ශරීරයෙන් ඉබේම ඉවත් වී යනවා. කෙසේ වෙතත්, සමහර HPV වර්ග බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි වෙනවා.

මේ HPV ආසාදනය කොන්ඩම් භාවිතය මගින් සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කළ හැකි වුවත්, එය සම්පූර්ණයෙන් වළක්වා ගත නොහැකි වෙනවා. මොකද මේ වෛරසය ස්පර්ශයෙන් පවා සම්ප්‍රේෂණය වීමේ අවධානමක් තියෙනවා.

මේ අඩු අවදානම් HPV ආසාදන වලින් ලිංගික ප්‍රදේශයේ, ගුද මාර්ගයේ හෝ මුඛයේ ඉන්නන් ඇති වෙන්න පුළුවන්. මෙම ඉන්නන් සාමාන්‍යයෙන් හානිකර නොවන නමුත්, අපහසුතාවයක් ඇති කරන්න පුළුවන්.

කොහොම වුණත් HPV-16 සහ HPV-18 මඟින් ගැබ්ගෙල පිළිකා, ගුද මාර්ගයේ පිළිකා, උගුරේ පිළිකා, යෝනි මාර්ගයේ පිළිකා, ශිෂ්ණයේ පිළිකා ඇති වීමේ අවදානමක් තියෙනවා.

HPV ආසාදනයෙන් ආරක්ෂා වීමට ඇති ඵලදායීම ක්‍රමය HPV එන්නත කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලිංගිකව සක්‍රිය වීමට පෙර මෙම එන්නත ලබා ගැනීම සුදුසු වෙනවා. මෙම එන්නත මගින් අධි අවදානම් HPV වර්ග වලින් සහ ලිංගික ඉන්නන් ඇති කරන HPV වර්ග වලින් ආරක්ෂාව සපයනවා.

ගොඩක් අය STI ගැන කතා කරන්නේ නැති වීම සහ මේවායෙන් ආරක්ෂා වෙලා ආරක්ෂිතව ලිංගික ක්‍රියාවල යෙදෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නේ නැහැ. මේ නොදැනුවත්කම නිසා STI අද සමාජයේ බොහෝ ගැටළුවක් වෙලා තියෙනවා.

දැනට ලංකාවේ කරලා තියෙන සමීක්ෂණ අනුව වැඩිපුරම STI වලට ගොදුරු වෙලා ඉන්නේ පිරිමි අය. එකෙනුත් වයස කාණ්ඩ ගත්තම තරුණයන් තමයි වැඩියෙන් ඉන්නේ.

ඉතින් STI ආසාදනය වීමේ අවධානම අඩු කර ගන්න පහත පියවර ගන්න පුළුවන්,

කොන්ඩම් නිවැරදිව භාවිත කිරීම

ඇත්තටම STI ආසාදනයක් වලක්වා ගන්න තියෙන සරල සහ පහසුම ක්‍රමය තමයි කොන්ඩම් එකක් හරියට භාවිතා කිරීම. කොන්ඩම් මගින් ශරීර තරල හරහා සම්ප්‍රේෂණය වන බොහෝ රෝග (උදා: HIV, ගොනෝරියා, ක්ලැමීඩියා) වලින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත්, කොන්ඩමයෙන් ආවරණය නොවන සම මගින් සම්ප්‍රේෂණය වන සමහර රෝග (උදා: හර්පීස්, HPV) වලින් සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

ලිංගික සහකරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීම

ලිංගික සහකරුවන් වැඩි වන තරමට STIs ආසාදනය වීමේ අවදානම ඉහළ යනවා. ඒ නිසා ඔබ සහ ඔබේ සහකරු යන දෙදෙනාම එකිනෙකාට පමණක් ලිංගිකව විශ්වාසවන්තව සිටීම (monogamy) මෙම රෝග වලින් ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමයක්.

එන්නත් ලබා ගැනීම

HPV (Human Papillomavirus) සහ හෙපටයිටිස් B (Hepatitis B) සඳහා වන එන්නත් ලබා ගැනීම තුලින් ඒවා ආසදනය වීමේ අවධානම අඩු වෙනවා. ඔබ එන්නත් ලබා ගත යුතුද යන්න පිළිබඳව වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම වැදගත් වෙනවා.

නිරන්තරයෙන් පරික්ෂා කිරීම

බොහෝ STIs වලට රෝග ලක්ෂණ නොමැති නිසා, ඔබට රෝගයක් තිබෙන බව ඔබ නොදැන සිටිය හැකියි. ඔබ ලිංගිකව සක්‍රිය නම්, වරින් වර STI පරීක්ෂණ කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි නව ලිංගික සම්බන්ධතාවක් ආරම්භ කිරීමට පෙර පරීක්ෂණයක් කර ගැනීම ඉතා යෝග්‍ය වෙනවා.

ඒ කියන්නේ විවාහ වෙන්න කලින් පොරොන්දම් බලනව වගේම ලේ පොරොන්දමක් බලා ගන්න එකත් අත්‍යවශ්‍ය වෙනවා.