BIRDS-X DRAGONFLY – ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි

මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) දින කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.

BIRDS-X DRAGONFLY ලෙස නම්කර ඇති එම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ එස්.පී.එක්ස් – 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් තිබෙනවා.

පසුව එය හෙට පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීමට නියමිතය.

2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස “රාවණ – 1“ චන්ද්‍රිකාවත් 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් 5ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ “කිට්සුනේ“ චන්ද්‍රිකාවත් මීට පෙර කක්ෂගත කර තිබුණි.
BIRDS-X DRAGONFLY චන්ද්‍රිකාව රාවණා 1 චන්ද්‍රිකාවට වඩා දෙගුණයක් විශාලත්වයෙන් යුතු බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය, ආතර් සී. ක්ලාක් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ නිර්මාතෘ වන ඉංජිනේරු (ආචාර්ය) සනත් පනවන්න මහතා විසින් ආරම්භ කර මෙහෙයවන ලැබුවක් වනවා.