අලුත් 2,000 නෝට්ටුව ගැන මහා බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගිය පසුගිය මස 29 වැනි දින නිකුත් කරන ලද රුපියල් 2000 සමරු නෝට්ටුව සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.

මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කිරීමට නියමිතයි.

ඒ සඳහා ගතවන කාලපරිච්ඡේදය තුළ මහජනතාව දක්වන සහයෝගය ශ්‍රී ලංකා මහ බැංකුව ඉතා අගය කොට සලකනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එසේම මේ සම්බන්ධව වැඩිදුර විමසීම් වෙතොත් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ඇමතීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම මගින් වැඩිදුර විස්තර ලබා ගත හැක.