යුද්ධය නිසා ගාසා තීරයේ ළමුන් 19,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

වසර දෙකක් පමණ තිස්සේ සිට පවතින ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වූ යුද්ධයෙන් ගාසා තීරයේ දරුවන් අවම වශයෙන් 18,885 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිය ගිය මුළු පලස්තීන ජාතිකයන් සංඛ්‍යාව 62,000 කට වැඩි බවයි.

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගතයින් සඳහා වන ආයතනය වන UNRWA,  ප්‍රකාශ කළේ ඊශ්‍රායලය විසින් අත්‍යවශ්‍ය ආධාර සහ වෛද්‍ය සැපයුම් අවහිර කිරීම හේතුවෙන් ඊශ්‍රායලය විසින් ඇති කරන ලද සාගතයෙන් පෙළෙන ප්‍රදේශයේ ළමයින්ට ආරක්ෂිත ස්ථානයක් නොමැති බවයි.

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර හේතුවෙන් සිය නිවාස විනාශ වී ගොස් ඇති නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාව UNRWA විසින් පවත්වා ගෙන යන කඳවුරු වලයි වාසය කරන්නේ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් උපුටා දක්වමින් UNRWA සඳහන් කළේ, ඊශ්‍රායලය ඒකපාර්ශ්විකව සටන් විරාම ගිවිසුමක් කඩ කර නැවත ප්‍රහාර ආරම්භ කළ දා සිට, යුද්ධයේ පසුගිය මාස පහ තුළ සෑම මසකම සාමාන්‍යයෙන් ළමුන් 540 කට වඩා මිය ගොස් ඇති බවයි.